රාජපක්ෂව ඇන්දූ ධම්මික පෙරේරා යහපාලනයත් අන්දවයි?

කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරා පසුගිය රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පුතුන් සමග ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කළ පුද්ගලයෙකි. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ නාමල්ගේ සහ යෝෂිතගේ නීතිවිරෝධී ඉපැයීම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ධම්මික පෙරේරා ලඟ තිබෙන බවයි. කෙසේ නමුත් ධම්මික පෙරේරා එකි පාලන සමයේදී නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට නම්මවා ගත්තේ නාමල් සහ යෝෂිත හරහා බව නොරහසකි.
ඒ සඳහා කදිම උදාහරණය වන්නේ ආර්.ඒ. ද මැල් මාවතේ (ඩුප්ලිකේෂන් පාර) අංක 430 දරන ස්ථානයේ පිහිටි Bellagio Colombo කැසිනෝහලයි. සූදු පනතේ සඳහන් ආකාරයට මෙවැනි කැසිනෝ ශාලා ස්ථානගත කළ යුත්තේ පාසල්, ආගමික සිද්ධස්ථාන පිහිටා ඇති ප්‍රදේශවලින් මීටර් 500 ක් දුරිනි. නමුත් Bellagio Colombo පිහිටා තිබෙන්නේ දිවයිනේ සුප්‍රසිද්ධ පාසලක් වන කොල්ලුපිටිය මහානාම විද්‍යාලය ඉදිරිපසය. එමෙන්ම කොල්ලුපිටිය වාලුකාරාමය පිහිටා තිබෙන්නේ එකී මීටර් 500 සීමාව ඇතුළතය.
මේ බව 2010 වසරේ ජාතික හෙළ උරුමය ප්‍රමුඛ මහා සංඝරත්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වාදීමෙන් අනතුරුව ධම්මික පෙරේරාව තමා හමුවට කැඳවූ හිටපු ජනාධිපතිවරයා ඔහුට නියම කර ඇත්තේ වහාම මෙම කැසිනෝ ශාලාව වසා දමන ලෙසයි. එවිට ධම්මික පෙරේරා බැගෑපත් වී ඇත්තේ ඒ සඳහා තමන්ට මාස 6 ක කාලයක් ලබාදෙන ලෙසයි. එකී මාස 6 ක කාලය තුළ ධම්මික පෙරේරා සිදුකර ඇත්තේ කැසිනෝ ශාලාව වසාදැමීමට පියවර ගැනීම නොව එය දිගටම පවත්වාගෙන යාම සඳහා බිළිබා ගතහැකි පුද්ගලයන් බිළිබා ගැනීමයි. ඔහු එය අති සාර්ථකව නාමල් හා යෝෂිත හරහා සිදුකළ බැවින් පුතුන්ගේ බලපෑම් හමුවේ නිහඬවීමට හිටපු ජනාධිපතිවරයාට ද සිදුවිය. එතැන් සිට 2015 දක්වා කිසිදු අපල උපද්‍රවයකින් තොරව කැසිනෝ ශාලාව අඛණ්ඩව කරගෙන යාමට ධම්මික පෙරේරාට හැකිවිය.
2015 ජනවාරි අටවැනිදා යහපාලන රජය බලයට පත්වීමත් සමග, එම රජය බලයට පත්කිරීමට පුරෝගාමී මෙහෙවරක් සිදුකළ දිවංගත පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් බැහැදැකීමට ගොස් ඇති ධම්මික පෙරේරා උන්වහන්සේට පවසා ඇත්තේ මහානාම විදුහල ඉදිරිපස ඇති, තමාට අයත් Bellagio Colombo කැසිනෝ ශාලාව ස්වෙච්ඡාවෙන් වසාදැමීමට පියවර ගන්නා බවයි. ඒ සඳහා යහපාලන ආණ්ඩුවේ නායකයන් සමග සාකච්ඡා කොට, තමන්ට මාස 6 ක සිට අවුරුද්දක කාලයක් ලබාදෙන ලෙස ආයාචනා කොට තිබේ. එකී කාලය අතරතුර ඔහු යුහුසුලු වී ඇත්තේ එම කැසිනෝ ශාලාව වසාදමා වෙනත් තැනකට රැගෙන යාම සඳහා නොව මහින්ද රාජපක්ෂව ඇන්දූ ආකාරයෙන්ම යහපාලන ආණ්ඩුවේ නායකයන් අන්දවන්නේ කෙසේදැයි සොයා බැලීමටය.
මේ සඳහා ඔහුට උදව් උපකාර කර ඇත්තේ කොල්ලුපිටියේ තවත් සම්බාහන ආයතන හිමි කුප්‍රකට පුද්ගලයෙකි. ඔහු හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපාරික සහෝදරයා වන ඩඩ්ලි සිරිසේන මිත්‍ර කරගැනීමට ධම්මික පෙරේරා ගත් උත්සාහය සාර්ථක වී ඇත. ඩඩ්ලි සිරිසේන මහතාට අයත් ජයික් හිල්ටන් එපාර්ට්මන්ට් වෙත රුපියල් ලක්ෂ 50 ක මුදලක් පොකට් මනි ලෙස යවා ඇත. එම තුටුපඬුර සතුටින් බාරගෙන ඇති ඩඩ්ලි සිරිසේන මහතා, ධම්මික පෙරේරාට ආණ්ඩුවෙන් වියයුත්තේ කුමක්දැයි දන්වා එවන ලෙස අදාල සම්බාහන මධ්‍යස්ථාන හිමිකරුවාගෙන් අසා එවා ඇත. නමුත් කිසිවක් ඉල්ලා නැති ධම්මික පෙරේරා අවශ්‍ය ඕනෑම වෙලාවක ඩුප්ලිකේෂන් පාරේ Bellagio Colombo වෙත පැමිණ කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන ලෙස දැනුම් දී තිබේ. යම් අවස්ථාවක ඩඩ්ලි සිරිසේන මහතා පැමිණියහොත් ඔහුට නොමිලේ අවශ්‍ය ඕනෑම චිප්ස් ප්‍රමාණයක් ලබාදෙන ලෙස ධම්මික පෙරේරා Bellagio Colombo පාලනාධිකාරියට නියෝග කර තිබේ. කැසිනෝ ක්‍රීඩාවට දැඩිලෙස ඇබ්බැහි වී ඇති පුද්ගලයෙකු වන ඩඩ්ලි සිරිසේන ධම්මිකගේ අර්පණය (OFFER) කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ 'නියම ගැම්බ්ලර් කෙනෙක්ට ෆ්‍රී චිප්ස් හරියන්නෑ, බෙට්එක එන්ජෝයි කරන්න නං එයාගෙම සල්ලි වියදම් කරන්න ඕන. දැන් මට ඉස්සර වගේ කැසිනෝ ගානෙ රස්තියාදු වෙන්න බෑ. ඉස්සර මම සෞඛ්‍ය ඇමතිගෙ මල්ලි, දැන් මම ප්‍රසිඩන්ට්ගෙ බ්‍රදර්. පිස්සු කෙලලා අයියගෙ මූණෙ දැලිගාන්න බෑ. මට ඕන උනාම මම සිංගප්පූරුවට ගිහිල්ලා කැසිනෝ ගහලා එනවා.' කියාය.
එසේ ධම්මික පෙරේරාගේ පිරිනැමීම ඩඩ්ලි සිරිසේන කාරුණිකව ප්‍රතික්ෂේප කළද Bellagio Colombo එම ස්ථානයේම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අනුග්‍රහය මේ වනවිට ලබාදී තිබේ. ඩඩ්ලි මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ද අවශ්‍ය පරිදි මෙහෙයවීමට ධම්මික පෙරේරා මේ වනවිට සමත් වී තිබේ. නමුත් එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කිසිවක් නොදනී. පසුගිය දිනෙක මෙම කැසිනෝ ශාලාව පිළිබඳව ප්‍රශ්නය අගමැතිවරයා ඉදිරියේ සාකච්ඡාවට ගෙන ඇති අතර එහිදී අගමැතිවරයා විමතියෙන් අසා ඇත්තේ 'ඒ කැසිනෝ එක තාමත් මහානාමෙ ඉස්සරහද තියෙන්නෙ ?' යනුවෙනි. අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට හොර රහසේ පරණ පුරුදු ඩීල් කලාව අංශුමාත්‍රයකිනුදු අඩු නොවී යහමින් සිදුවෙමින් පවතී. යහපාලනයට ඡන්දය දුන් ජනතාව සයිටම්, GMOA, අන්තරේ, ඩෙංගු ව්‍යසනය දිහා ඇස්-කන් දල්වා බලා සිටින අතර මේවා සිදුවන්නේ ඔවුන්ගේ දෑස් යටිනි.
(LNW)
0 comments