අපේ රටේ ඉපිද බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් වූ කරීමා සිංහලෙන්ම කිව්ව දේ

ඔසරියකින් සැරසී, ඇය නිල රථයෙන් බැස අප දෙසට පිය මැන්නේ හසරැල්ලකින් මුව සරසා ගනිමිනි.
ඔසරියට උඩින් පෙනෙන්නට වූ නගරාධිපති පළඳනාවේ ආරක්ෂකයා මෙන්ම නගරාධිපතිවරයාගේ නිල රියදුරා ද වන ජෙෆ් ඇය සමිපයෙන්ම ගමන් කරයි.
“මෙයා මේ ඉන්නේ මගේ ආරක්ෂාවට නෙමෙයි, මේ ලාංඡනය බලාගන්න,” ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ද පවසයි.
උද්‍යානයේ ඇවිදිමින් සිටි, ව්‍යායාමයේ යෙදෙන තරුණ මහලු බොහෝ දෙනා ඇය දැක කෙටි කථාබහක නිරත වෙති.
“හෙලෝ කරීමා,” ඒ බොහෝ දෙනාට ඇය දැකීම සතුටකි.
ඇය ද ඒ බොහෝ දෙනා නමින්ම හඳුනන්නීය.
පසුගියදා වයඹදිග ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නගරාධිපති පදවියට පත් වූ ඇය, කරීමා මරික්කාර්ය.
  ලංකාවේ මහනුවර උපත ලැබූ ඇය, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාවය.
ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාව ඇරඹීමට පෙරාතුවම, සිය ප්‍රදේශයේ පමණක් නොව ලොව පුරා විවිධ රටවල වෙසෙන මිතුරු මිතුරියන් සහිත ඇය ඉතා ජනප්‍රිය චරිතයක් බව සමාජ ජාල ප්‍රතිචාර මගින් අපි දුටුවෙමු.
ඇය සමග සංවාදය ආරම්භ වූ මොහොතේම ඒ ජනප්‍රියත්වයට හේතුව කවරක් දැයි අපට වැටහිණි. (සාකච්ඡාවේ පළමු කොටස පහත නරඹන්න)
“මම මුස්ලිම්, මරක්කල,” ඇය කීවාය.
“ඒ වුනාට ගොඩක් සිංහල විදියට තමයි අපි හැදුනේ. අපි කතා කළේ ලොකු අක්ක, ලොකු අයිය, පුංචි අක්ක. ඒ විදියට.”

‘සිංහල මරික්කාර්’
බණ්ඩාරනායක පරපුර සමග ඉතා සමීපව දේශපාලනයේ නිරත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු තැපැල් ඇමතිවරයෙකු වන සීඒඑස් මරික්කාර් ඇයගේ ලොකු තාත්තාය.
“එයාට කිවුවේ සිංහල මරික්කාර් කියල. එයා පන්සීය පනස් ජාතකය කටපාඩම් කෙනෙක්.”
“අපි බොහෝ විට හැදුනේ බෞද්ධ ජනතාව සමග.”
ශ්‍රී ලංකාවේ උපත ලබා, ලන්ඩන් නුවර ප්‍රදේශයක නගරාධිපතිනියක වීමට ඇය සමත්වූයේ කෙසේද?
“මම මිනිස්සුන්ගේ හිත දිනාගත්තේ මගේ හිනාවෙන්.”
එය අසත්‍යයක් නොවන බව අපි ද දුටුවෙමු. එහෙත් සිය මව් රටේත් ලොව පුරා වෙනත් රටවලත් වෙසෙන සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙත ඇය සතුව පණිවුඩයක් ද තිබිණ.
“මේ පදවිය ගත්ත නිසා කිසිම පක්ෂ භේදයකින් තොරව තමයි මම වැඩ කරන්නේ. මගේ එකම පරමාර්ථය හැම කෙනාටම එක සමානව සැලකීම.”
භාරදූර පදවියකට පත්වූවෙකුට එම පදවිය දැරීමේදී පක්ෂයක්, ජාතියක් හෝ ආගමක් තිබිය නොහැකි බව ඇයගේ ස්ථාවරය වී තිබේ.
“පදවියක් ගත්ත නම් දේශපාලනය නැතුව යන්න ඕන. ඒක තමයි code of conduct කියන්නේ.”
සිය එකම අභිලාශය ලොව ස්ථිර සාමයක් උදාවනු දැකීම බව පවසන කරීමා මරික්කාර්, සාමය වෙනුවෙන් කැපවන මෙන් මුස්ලිම්, හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි සහ යුදෙවු ඇතුළු සියලු ආගමික නායකයන් වෙත ආයාචනයක් ද කළාය.
“ඕනෑම ජාතියක් එක සමානව සලකන්න. පරණ විදියට හිතන්න එපා. ආගමික නායකයන් දැනගන්න ඕන මේක විසි එක්වෙනි ශතවර්ෂය කියල.”
“සෑම ආගමකම අර්ථය කියන්නේ සාමය.”
මහනුවර උසස් බාලිකා විදුහලේ හොකී කණ්ඩායමේ ක්‍රීඩිකාවක ද වූ ඇය වර්තමානයේ මානසික සෞඛ්‍ය හෙදියක් වශයෙන් ද සේවය කරන්නීය.
“මේ පදවි තාවකාලිකයි නේ. මම තාමත් නර්ස් කෙනෙක්.”
මුස්ලිම් කාන්තාවෝ
පසුගියදා ශ්‍රී ලංකාව පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% ක් දක්වා අනිවාර්ය කිරීම ගැන ප්‍රසාදය පළකරන හැරෝ නගරාධිපතිනිය, ලාංකේය කාන්තාව ද තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු බව අවධාරණය කළාය.
කෙසේ වුවත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය ගැන අදහස් දක්වමින් ඇය කියා සිටියේ “හොඳටම මදි” බවය.
“කිසිම භේදයක් නැතුව, කාන්තාවට තැන දීම අඩුවක් නැතුව කළ යුතුයි.”


0 comments