නාවික හමුදාපතිවරයා හිරු මාධ්‍යවේදියාට පහරදීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙළා දකී

අයිතීන් ඉල්ලා සටන් කළ හම්බන්තොට වරාය සේවකයින්ට සහ එය වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට ආණ්ඩුව හමුදාව යොදාගනිමින් එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ සේවක ගැටළුව විසඳීම වෙනුවට වත්මන් ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ඉතා නින්දිත ආකාරයෙන් බවයි.

විරෝධතාකරුවන්ට මෙන්ම එය ආවරණය කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට පරුෂ වචනයෙන් බැණ වදිමින් නාවික හමුදාපතිවරයා පහරදෙන අයුරු විකාශය වූ රූපරාමු ඔස්සේ පැහැදිළිව පෙනෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ.

ජනවාරි අටවනදා වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනා බව පවසමින් වුවද හිරු මාධ්‍යවේදියාට පහරදීම තුලින් එම සටන් පාඨ හා ජනතාවට දුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

0 comments