ඔබට නියැලිය හැකි ස්වයං රැකියා කීහිපයක්.

පේ රටේ රැකියා විරහිත තරුණ තරුණියෝ ගොඩක් ජීවත් වෙනවා. තමන් ඉගෙන ගත්තු දෙයට සරිලන රැකියාවක් ලැබෙනකම් ගෙදරට බරක් වෙන්න සිදුවීම ගැන දුකෙන් ඉන්න අයට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒ වගේම ගෙදරක සැමියා වැඩට යනකොට බිරිඳට පුළුවන් ස්වයං රැකියාවක් කරන ගමන් ගෙදර ආර්ථිකයට පුංචි ශක්තියක් වෙන්න.
ටියුෂන් පංති
අද රැකියා විරහිත උපාධිධාරීන් ගොඩාක් ඉන්නවා. ඒ වගේ අයට මේ ස්වයං රැකියාව ගොඩාක් සුදුසුයි. ඒ වගේම ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක්ට ඉංග්‍රීසි පංති පටන් ගන්න පුළුවන් නම් ඒක හොඳ ආදායම් මාර්ගයක් වේවි. ටියුෂන් පංති තමන්ගේ නිවසේදී වගේම සිසුවාගේ නිවසට ගිහින් කරන්නත් පුළුවන්.

ලියුම් කවර නිෂ්පාදනය

මෙම ව්‍යාපාරය අද බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ස්වයං රැකියාවක්. ඇතැම් ආයතන මඟින් අමුද්‍රව්‍ය නිවසටම සපයා, නිෂ්පාදනය කල ලියුම් කවර නැවත මිලට ගැනීමත් සිදු කරනවා. එම නිසා මෙම ව්‍යාපාරයේ අවදානම අඩුයි. ලියුම් කවර සැදීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ මැනිලා කොළ සහ ගම් වර්ග වේ.

මල් වගාව

අපේ රට තුල සිටින මල් වගාකරුවන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. මල් පිට රටවල් වලට අපනයනය කරන සමාගම් ග්‍රාමීය මල් වගාකරුවන් හරහා මල් මිලදී ගන්නවා. එමෙන්ම උත්සවකාල වලදී, මව්වරුන්ගේ දිනයේදී සහ වැලන්ටයින් දිනයේදී මල් සඳහා ඇති ඉල්ලුම ඉහල නගිනවා. ඒ නිසා මල් සඳහා හොඳ වෙළඳපොලක් තියෙනවා.
උදා : ඕකිඩ් මල් වගාව, ඇන්තුරියම් මල් වගාව, රෝස මල් වගාව, ජර්බරා මල් වගාව
මීට අමතරව විසිතුරු පැල වගාවද ඔබට තෝරා ගත හැක. එහිදී බොන්සායි පැල වගාව ඉහල ස්ථානයක් ගනී.
මල් වගාවේ සහ විසිතුරු පැල වගාවේ ස්වයං රැකියාවක් ලෙස මෙන්ම විනෝදාංශයක් ලෙසද ඔබට නියැලිය හැක.

ආහාර නිෂ්පාදනය

රසවත් ලෙස ආහාර සැකසිය හැකි අයට ආහාර නිෂ්පාදනයේ යෙදිය හැක. පිරිසිඳු සහ රසවත් ආහාර සැපයූවොත් ඔබේ වෙළඳපොළ දියුණු කර ගන්න පුළුවන්.
උදා : යෝගට් නිෂ්පාදනය, පපඩම් නිෂ්පාදනය, ලුණු දෙහි නිෂ්පාදනය, මාළු ඇඹුල්තියල් බෝතල් සැකසීම, අතුරුපස (තල කැරලි, පුහුල් දෝසි) නිෂ්පාදනය

බිම් මල් නිෂ්පාදනය

බිම් මල් නිෂ්පාදනය ඉතා පහසු ස්වයං රැකියාවක් වෙනවා. මෙයට වැඩි ඉඩක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මේ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ උපදෙස් වල මිල සාපේක්ෂව ඉතා අඩුයි. මේ වගාව අවුරුද්දේ ඕනෑම වෙලාවක කල හැකියි. බිම් මල් සඳහාත් ඉහල වෙළඳපොලක් තියෙනවා.

කෘෂි භෝග වගාව

කෘෂි භෝග වලට දේශීය හා විදේශීය ඉල්ලුම විශාල වශයෙන් තියෙනවා. නමුත් කෘෂි භෝග වගා කිරීම සඳහා වැඩි ඉඩකඩක් අවශ්‍ය වෙනවා.
උදා : කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, එනසල්, බුලත් සහ පුවක් වගාවන්

කුලී ඇඳුම් මැසීම

ඇඳුම් මැසීමේ හැකියාව ඇති අයෙකුට තාම නිවසේදීම පටන් ගත හැකි කදිම ව්‍යාපාරයක් තමයි කුලී ඇඳුම් මැසීම. මිනිසුන්ගේ කාර්යබහුතාවය වැඩි වීමත් සමඟ තමාගේ ඇඳුම් මසා ගැනීමට කාලයක් නැති වීම නිසා කුලී ඇඳුම් මැසීමේ ව්‍යාපාරයට වැඩි වෙළඳපොළක් තියෙනවා. අද කාලයේ සාරි හැට්ට සඳහා වැඩි ඉල්ලුමක් තියෙනවා. ඇඳුම් වලට අමතරව පාපිසි, පාවහන් මැසීමත් ඔබට කල හැකියි.

අතරමැදියෙකු වීම

මෙය ඉතා පහසු ආදායම් මාර්ගයක්. නමුත් අතරමැදියෙකු වීම සඳහා හැඳුනුම්කම් තිබීම අවශ්‍ය වෙනවා. කුඩා පරිමාණයෙන් නිෂ්පාදන කරන, නමුත් වෙළඳපොළකට නිෂ්පාදන දැමීමේ හැකියාවක් නැති අය ඕනෑ තරම් ඉන්නවා. ඔබට පුළුවන් ඔවුන් සඳහා අතරමැදියෙකු වෙන්න. වෙළඳපොළක් නැති නිෂ්පාදකයාට එය උපකාරයක් වගේම, සාමාන්‍ය ලාභයක් තියාගෙන ඒ භාණ්ඩ වෙළඳපොලට දැමීමෙන් ඔබටත් ආදායමක් ලබා ගන්න පුළුවන්.

ස්වයං රැකියා සඳහා උපදෙස් සහ ආධාර ලබා ගත හැකි ආයතන

  • ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය
  • නර්ඩ් ආයතනය
  • මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ රැකියා නිර්මාණ හා ප්‍රවර්ධන ආයතනය
  • ලංකා බැංකුවේ “දිවි මග” ණය යෝජනා ක්‍රමය
  • ප්‍රාථමික කාර්මික අමාත්‍යංශය
  • අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
මේ හැමදේම කරන්න කලින් ඔබ ඒක දෙයක් වටහා ගත යුතුයි. ස්වයං රැකියාවක නිරත වීම ආඩම්භරයට කරුණක් මිස ලජ්ජාවට කරුණක් නෙවෙයි. සමහරු හිතන්නේ තමා විසින් කරන ස්වයං රැකියාවකට වඩා තව කෙනෙකු යටතේ කරන රැකියාවක් උසස් කියලයි. ඔබ රැකියාවක් නොකරන කෙනෙක් නම්, ඒ මානසිකත්වයෙන් මිදිලා තමන්ගේම දෙයක් පටන් ගන්න උත්සාහ කරන්න.

0 comments