මහනුවර රෝහලේ සේවයේ යෙදී සිටි හෙදිය අභිරහස්‌ ලෙස මියගිහින් ඇයි මැරිල වගේ ඉන්නෙ නැගිටින්න සමහරු අසන්තිට කතත් කරලා

”මහ රෑ දොළහත් එකත් අතර තමයි මේ නර්ස්‌ මැරිලා තියෙන්නේ..”
”කිසිම ලෙඩක්‌ තිබුණෙ නැති නිරෝගී කඩිසර නර්ස්‌ කෙනෙක්‌නේ…”
”එයා වකුගඩු ශල්‍යාගාරයේ තමයි වැඩ කරන්නේ.. එදා හැටපහේ කට්‌ටිය අඩු නිසා එතනට ඇදලා…”
”ඔය වෙලාවේ හැටපහේ ඉඳලා තියෙන්නේ, එයා විතරයි.. ඩියුටි හිටපු අනිත් දෙන්නාම රෙස්‌ට්‌ කරන්න ගිහින්ලු…..”
”මරණයට හේතු මොනවත්ම හොයාගෙන නැතිලු තාම …”
එලෙසින් මහනුවර මහ රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත කාර්යය මණ්‌ඩලයම වික්‌ෂිප්ත කරමින් අදට වයස අවුරුදු තිස්‌ අටකුත් දින විසිතුනක්‌ වයසැති අසන්ති බණ්‌ඩාර රාත්‍රි රාජකාරියේ නියෑළි සිටියදී මිය ගියේ ඉකුත් සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේදීය. ඇය හුන් තැනම හැලහොල්මනක්‌ නැතිව සිටිනු දුටු අසල වාට්‌ටුවේ හෙදියක ඇයි මැරිලා වගේ ඉන්නේ කියමින් කතා කොට ඇතත්, ඇය ඊට ප්‍රතිචාර නොදක්‌වා ඇතැයිද, තවත් කෙටි වේලාවකදීත් ඇය එම ඉරියව්වෙන්ම සිටීම නිසා හෙදියක්‌ විසින් ඇයට කතාකොට ඇත. ඒ අවස්‌ථාවේදී සිය සගයින් පුදුමයෙන් පුදුමයට පත් කරමින් අසන්ති ජීවිතයෙන් සමුගෙන ගොස්‌ තිබිණි.
අසන්තිගේ මරණයෙන් ජීවිත කාලය පුරාවටම මැරි මැරී උපදින්නේ , සිය ස්‌වාමිපුරුෂයා වන ජනක නිලුෂන් තෙන්නකොන් සහ තවමත් හය හතර නොතේරෙන තුන්හැවිරිදි සිඟිති පුතුය. මාවනැල්ල දෙවනගල ගල්ලෑල්ලේ අංක 59 නිවසේ පදිංචිව සිටි මොවුන්ගේ පුංචි කැදැල්ල අද එකම කඳුළු ගංගාවකි.
මධ්‍යම රාත්‍රි 12.30ත් 1.00ත් අතර වේලාවකදි මියගිය අසන්ති රාජකාරියට වාර්තා කර තිබූණේ, සවස 1.00 ටය. ඇය වකුගඩු ඒකකයේ ශල්‍යාගාරයේ සේවය කරන හෙදියක්‌ වුවද, එදින වාට්‌ටුවල හෙදියන් අවම වීම මත ඇයගේ රාත්‍රි වැඩමුරය හැටපහේ වාට්‌ටුවේදි සිදුකරන්නට අවශ්‍ය බලධාරීන් උපදෙස්‌ ලබා දී තිබිණි. අසන්ති සිය කැමැත්තෙන්ම වාට්‌ටුවේ සේවයට ගිය බව ඇය හා කටයුතු කළ සෙසු හෙදියන් පොලිසිය වෙත ප්‍රකාශ කොට තිබිණි.
අසන්ති සමග හැටපහේ වාට්‌ටුවේ සේවය කළ හෙද කාර්යය මණ්‌ඩලයේ සෙසු සගයින් දෙදෙනා රාත්‍රි විවේකය සඳහා ගොස්‌ සිටියදී ඇය වාට්‌ටුවේ සිදු කර ඇත්තේ කුමක්‌ද යන්න සොයා බලා කළ පරික්‌ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය අවසන් වරට රෝගියකු සඳහා ‘මෙරපනම්’ නැමැති ඖෂධය ලබා දී ඇති බවය.
මෙරපනම් (පෑRධඡෑභෑඵ) නමැති ඖෂධය එන්නත් මගින් ලබා දෙන්නේ, දරුණු ආසාදන තත්ත්වයන් ඇති රෝගීන්ටය. මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ ඇත්තේ ඉන්දියානු රජයෙන් ආනයන කොට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දෙනු ලැබු කාණ්‌ඩ අංක 03272005 අංක දරණ මෙරපනම් ඖෂධයය.
මේ සිදුවීම සිදුව දින තුනක්‌ ගත වන්නටත් මත්තෙන් මහනුවර වකුගඩු ඒකකයේ හැට දෙවැනි වාට්‌ටුවේ රාජකාරියේ නියුතුව සිටි හෙදියක මෙරපනම් ඖෂධය රෝගියෙකුට එන්නත් කිරීමෙන් අනතුරුව රෝගී වූ බවත්, ඇය තිස්‌එක වාට්‌ටුවට ඇතුළත් කොට කඩිනමින් ප්‍රතිකාර ලබා දුන් බවත් සැලවිය.
එසේ නම්, පෙර මිය ගිය හෙදියටද මෙම ඖෂධය ආසාත්මික වන්නට ඇත්ද? එහෙත් ඇය හිඳගෙන හුන් තැනින් සෙලවී හෝ නැති වග දුටුවන් කියති. ආසාත්මිකතාවයකට ගොදුරු වූ අයෙකු දක්‌වන ප්‍රතිචාර ( දැඟලීම , වමනය, හෝ වෙනත් කලබලවීමක්‌) ඇය දක්‌වා නැති බැවින් අසන්තිගේ මරණය අභිරහසකි.
මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් දක්‌වන්නේ පශ්චාත් මරණ පරීක්‌ෂණ වාර්තාව මත යෑපිය යුතු බවට අදහස්‌ය. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින්, අසන්තිගේ සිරුරේ කොටස්‌ රස පරීක්‌ෂක වෙත යවා ඇත. එතෙක්‌ ඇයගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක්‌ ලබාදීමට මහේස්‌ත්‍රාත්වරයා පියවර ගෙන තිබූණේ, පශ්චාත් මරණ පරීක්‌ෂණයේදී අසන්ති ගේ සිරුරේ සැකසහිත හෝ වෙනත් කිසිදු හේතුවක්‌ සොයා ගත නොහැකි වූ නිසාය.
එහෙත් , ඇයගේ මව වන විඡේරත්න මහත්මිය කියා සිටියේ, වෙනස්‌ම වූ කතාවකි.
”හෙදියක්‌ කියන්නේ පිනක්‌ අත්පත් කරගන්න පුළුවන් හොඳම රස්‌සාවක්‌ මයේ පුතේ…. හැමෝටම කරුණාවන්තව සලකන්න ….” කියමින් හෙද සේවයට පළමු පත්වීම් ලැබ අනුරාධපුර රෝහලට යෑව්වේ අසන්තිට ආශිර්වාද කරමිනි. අසන්ති 1979 දෙසැම්බර් 26 වැනි දින ඉපදී කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවෙන් අධ්‍යාපනය ලැබ අන්‍යයන්ට උදව් උපකාර කිරීමේ කාර්යයට බෙහෙවින් ලොල් තැනැත්තියකි . රාජ්‍ය සේවයේ නියුතුව සිටි ඇයගේ මව අසන්තිගේ මරණයෙන් දැඩිව කම්පා වී සිටින්නීය. ”මගේ දුව නුවර ඉස්‌පිරිතාලෙට ආවේ, දැන් අවුරුදු හයකට විතර කලින්. එයා ආව දවසේ ඉඳලාම වැඩ කළේ ශල්‍යාගාරයේ.
බොහොම සතුටින් තමයි එයා රාජකාරියට ගියේ. ඒත් මෙයා මැරුණේ, හැටපහේ වාට්‌ටුවේ. මේ මරණයට වගකියන්නේ කවුද? මගේ දරුවා රස්‌සාව කරපු තැන ඒ කියන්නේ ශල්‍යාගාරයේ භාර නිලධාරියා මගේ දුව ගේ සේවය ලබා ගත්තේ ශල්‍යාගාර සේවයට. ඒත් මෙයා වාට්‌ටුවක මැරිලා හිටියේ. කොහොමද එහෙම වෙන්නේ. දැන් මේ දරුවාගේ ලෙයින් උපන් සිඟිත්තාට අම්මාගේ අඩුව දෙන්නේ කවුද..? මේ මරණය සිදුවුණේ කොහොමද කියලා දැනගත යුතුමයි. නීතිය හරහා මං මගේ දරුවාගේ ජීවිතය ගැන වගකීම ගන්නේ කවුද කියලා හොයනවා. .”
මමයි අසන්තියි එදා උදේ පුතාව මොන්ටිසෝරියකට දැම්මා. අපි පුතාත් එක්‌ක ඇවිදලා එයාට බඩු අරන් දීලා හරිම සතුටින් හිටියේ. මම පුතත් එක්‌ක ආපහු ගෙදර ආවා. අසන්ති වැඩට ගියා. එහෙම ගියේ ආයේ නොඑන්න කියලා කවුද හිතුවේ… මං දැන් මේ පොඩි දරුවා අම්මා ඉල්ලන වාරයක්‌ ගාණේ මැරි මැරී උපදිනවා.
දැන් ආයේ මොනවා කළත් අසන්ති එන්නේ නෑ…. මට දැනගන්න ඕනි එක දෙයයි…. අසන්ති මැරුණේ කොහොමද…? මොනවා වෙලාද..?
සමන්තී වීරසේකර

0 comments