ත්‍රිරෝද රථයට මීටරය අනිවාර්ය කෙරේ

මගී ප්‍රවාහන සහ අනෙකුත් ත්‍රිරෝද රථවලට අදාළව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විශේෂ නියෝග මාලාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල ටැක්සි මීටරයක් සවි කිරීම අනිවාර්ය වන අතර, ගාස්තු ගෙවීමෙන් පසු රිසිට් පතක් නිකුත් කිරීම ද රියදුරාගේ වගකීම වන බව සඳහන්.

එසේම සියලු ත්‍රිරෝද රථවල ඇතුළුවීම සහ පිටවීම වැළකෙන පරිදි දකුණුපස දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් වසා තැබිය යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ත්‍රිරෝද රථ රියදුරන් මගීන්ට පැහැදිලිව පෙනෙන පරිදි ලියාපදිංචි අංකය, තම නම, රියදුරු බලපත්‍ර අංකය, ඡායාරූපයක් සහ හදිසි අවස්ථාවක දැනුම්දීම සඳහා ත්‍රිරෝද රථය ලියාපදිංචි පොලිස් ස්ථානයේ දුරකථන අංකය රථයේ ප්‍රදර්ශනය කළ යුතුයි.

එසේම සේවයේ යෙදී සිටින අවස්ථාවන් හිදී දුම්පානය මෙන්ම කෙටි මඟක් තිබියදී දීර්ඝ මාර්ගවලින් මගීන්ගේ ඉල්ලීමක් නොමැතිව ගමනාන්තයට ගමන් කිරීම ද තහනම් වනවා.

මගියෙකු යම් ද්‍රව්‍යයක් ත්‍රිරෝද රථයේ අතපසු වීමකින් තබා ගොස් ඇත්නම් එය ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත භාර දීම ද රියදුරුගේ වගකීමක් වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

0 comments