ජනතාව මුල නොකර සහන දෙන්න - උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ


ජනතාව මුල නොකර සහන දෙන්න - උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ 
 
එම නිවේදනය මඟින් උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙන්නේ පසුගිය 03 වැනි දින එම ප්‍රදේශයන්හි සංචාරයක නිරත වූ මහින්ද අමරවීර ඇමතිවරයා ජනතාව මුලා කරමින් පලා ගිය බවයි. එදින පිඩාවට පත් ජනතාව ඇමතිවරයාගෙන් බලාපොරොත්තු වුයේ මෙම විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි සාධාරණ විසඳුමක් බව විද්‍යාරත්න මහතා සඳහන්කරයි.
2017. 07. 03 වැනි දින ජාතික රූපවාහිනියේ විකාශය වූ "ඇත්ත - නැත්ත" වැඩසටහනේදී උමා ඔය ව්‍යාපෘතියෙන් අගතියට පත් ජනතාවට ලබා දෙන සහන මොනවාදැයි විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා සිදු කළේ ප්‍රශ්නයට පිළිතුරුදීම වෙනුවට ජනාධිපතිවරයාට යොමු කළ ලිපියක කොටසක් කියවීම බවත් ඒ තුළින් සිදු කළේ ජනතාව මුලා කිරීම බවත් හෙතෙම කියා සිටියි.
එමෙන්ම 2017.07.04 වැනි දින ස්වාධීන රූපවාහිනියේ "කවුද ඇත්ත කියන්නේ" වැඩසටහනට මහින්ද අමරවීර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පමණක් ගෙන්වා රටට කිව්වේ ඇත්ත නොවන බවයි සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරන්නේ.
රටම නොමඟ යවමින් ජනතාව මුල කිරීම වෙනුවට පසුගිය ජුනි 30 වැනි දින ජනාධිපතිවරයා වෙත යොමු කළ යෝජනා හා ඉල්ලීම් රැගත් දීර්ඝ ලිපිය අධ්‍යයනය කර නොපමාව අවශ්‍ය කටයුතු සලසන ලෙස එම නිවේදනයෙන් අවධාරණය කරයි.
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට පුපුරා ඉරිතලා ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 7037 වන අතර සිදී ගිය උල්පත්,ළිං,දිය කඳුරු,ඔයවල් හා කුඩා වැව් ගණන 3112ක් බව එම ජනතා පෙරමුණ පවසයි. මේ අතර වගා කළ නොහැකිව අත්හැර දැමු කුඹුරු හා ගොඩ ඉඩම් අක්කර දහස් ගණනක් වන බවද ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම බණ්ඩාරවෙල නගරයද මේ වන විට උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විනාශයට ගොදුරුව ඇතැයි උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ අවධාරණය කරයි.
ආශිකා බ්‍රාහ්මණ

0 comments