මීට වඩා ලොකු තීන්දු ගන්න පැකිලෙන්නේ නෑ..මංගලගේ ගැසට්ටුව ජනපති මෛත‍්‍රි අහෝසි කරයි.

මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාවන් වැඩි කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකි වන පරිදි පනවා ඇති සියලු ගැසට්‌ නිවේදන වහාම අද (15 වැනිදා) සිට අහෝසි කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) මතුගම අගලවත්තේ පැවැති ජනරැලියක්‌ අමතමින් පැවැසීය.
“අද අරක්‌කු තැබෑරුම් අරින වෙලාව වෙනස්‌ කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි මම ඒවා දැන ගත්තේ. කාන්තාවන්ටත් බාර් එකෙන් අරක්‌කු ගන්න ඉඩ දීලා තියෙනවා.
මුදල් ඇමැතිට මම ඒ ගැන කතා කළා. එතුමා දින තුනක ඉන්දියාවේ සංචාරයකට සහභාගි වෙලා ඉන්නේ. අගමැතිවරයාට කතා කළා. ඇමැතිවරුන්ටත් කතා කළා. මේ ගැසට්‌ වහාම ඉවත් කරගත යුතුයි කියලා මම කිව්වා. හෙට සිට ඒ ගැසට්‌ ඔක්‌කොම අහෝසි වෙනවා. මීට වඩා ලොකු තීන්දු තීරණ ගන්න වුණත් මම පැකිළෙන්නේ නැහැ” යෑයි ද ජනපතිවරයා එම රැලියේදී කියා සිටියේය.
මහ බැංකු බැඳුම්කර කොමිසම පත් කරන්න කලින් මම 2016 බරපතළ දූෂණ වංචා සෙවීමට කොමිසමක්‌ පත් කළා. මේ සභා වාර්තා දෙකේ නම් සඳහන් ප්‍රධාන දේශපාලන පක්‍ෂ 12 හේම නියෝජිතයන් ඉන්නවා. නිලධාරීන් ඉන්නවා. කවුරු හිටියත් මම ඔවුන්ට එරෙහිව කළයුතු කාර්යය ඉටු කරනවා යෑයි ද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

0 comments