ලංකාවේ අන්තිම රජු සැඟවූ මහා නිධානය කෝ?
පිළිමතලාවේ සිතුවේද දරුවා තමාගේ බවය. වසර ගණනක් ගත විය. කන්නසාමිගේ කරදඬු උස් මහත් විය. නව යොවුන් තරුණයෙකු බවට පත් විය. ඒ අතරේ රජතුමා සැක කළේ පිළිමතලාවේ හා අනියම් බිරිඳ අතර සබඳතාවයක් ඇතැයි යනුවෙනි. මේ නිසා රාජාධිරාජසිංහ රජු සැලසුම් කළේ කන්නසාමි කුමරු ලවා පිළිමතලාවේ ඝාතනය කිරීමටය. නමුත් ඊට පෙර ඉක්මන් වූ පිළිමතලාවේ කන්නසාමි ලවා රාජාධිරාජසිංහ ඝාතනය කළේය. ඒ උඩරට කිරුළ කුමරුට දෙනවාය යන පොරොන්දුව අනුවය.
කන්නසාමි කුමරුන් ශ්‍රී වික්‍රම රාජසිංහ යනුවෙන් රජු බවට පත් කිරීමෙදී මහ අදිකාරම් පිළිමතලාවගේ අදහස වූයේ අටළොස් හැවිරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන්ගේ උපදෙස් ගෙන රාජ්‍යය කරයි යන්නය. නමුත් රජු උපදේශ ගත්තේ තමන්ගේ බිසෝවරුන් සමගිනි. දකුණු ඉන්දියාවෙන් පැමිණ උපදේශකගෙනි. මෙනිසා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බලයෙන් පහ කිරීමට පිළිමතලාවේ මහ අදිකාරම් කටයුතු සම්පාදනය කරන්නට විය. රාජ භෝජනයට වස මිශ්‍ර කිරීමට පිහින
රාළටත් බොටුව කැපීමට රජ වාසල කරණවෑමියාටත් ස්නානය කරනකළ කිරිච්චියෙන් ඇන මැරීමට සියඹලාපිටියේ සට්ටම්බිටත් අල්ලස් දුන්නේ යැයි,
පිළිමතලාවේ මහ අදිකාරම්ට විරුද්ධව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් චෝදනා නගන ලදී. එම අවස්ථාවේ පිළිමතලාවේ මහ අදිකාරම් මරණයට පත් කිරීම රටේ කැරැල්ලක් ඇති වීමට හේතු වේ යැයි සිතු මහ රජු
පිළිමතලාවේ මහ අදිකාරම් සියලු නිලතලවලින් පහකර සාමාන්‍ය නිලමේ කෙනෙකු වශයෙන් තම වලව්වේ දිවි ගෙවීමට අණ කරන ලදී. ඉක්බිතිව මහ අධිකාරම් ධුරයට රජු විසින් පත් කරනු ලැබුවේ ඇහැළේපොළ නිලමේය. ශ්‍රී වික්‍රම රාජසිංහ ඇහැළේපොළ මහ අධිකාරම්ට තාන්න මාන්න දුන්නේ හුදෙක් ඔහු ගැනම සිතා නොවේ.
ඇහැළේපොළගේ කුමාරිහාමි පිළිබඳ සිත් බැඳගෙනය. එහෙත් රජුගේ බසට ඇය අවනත නොවූවාය.
රජු කෝපයට පත්විය. කුමාරි හාමිගෙන් කවදා හෝ පළිගන්නා බව ශපථ කළේය. ඊට අවස්ථාව ලැබෙන්නේ ඉංග්‍රීසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහිව යුද ප්‍රකාශ කිරීමත් සමගය. සබරගමුවේ සිටින ඇහැළේපොළ අධිකාරම් ඉංග්‍රීසින්ට සහය දක්වන බවට චෝදනා කළ රජු ඇහැළේපොළ කුමාරිහාමිද ඔවුන්ගේ දරුවන්ද අත්අඩංගුවට ගත්තේය.
රාජ නියමයෙන් කුමාරිහාමිද ඇගේ දරුවෝද ඝාතනයට ලක් වූහ.
ලෙයට ලෙය පළි ගැනීමට ඇහැළේපොළ ඉංග්‍රීසින්ට එකතු විය. ඇහැළේපොළ අදිකාරම් ඇතුළු ඉංග්‍රීසි හමුදාව උඩරට රාජ්‍ය ඇල්ලීමට එන බව ආරංචි වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන් සතු කෝටි ගණන් වටිනා මුතු මැණික් සහ රන් ආභරණ ලැයිස්තු ගත කර පෙට්ටගම්, පෙට්ටිවල තැන්පත් කරන්නට විය. රජු මේ සඳහා උල්පැන්ගාව අරමුදලේ කංකානම් වූ වෙලේගෙදර අප්පුහාමිගේ සහාය ලබාගත්තේය. එක් පෙට්ටියක ඇති භාණ්ඩ පිළිබඳ විස්තර ලේඛනයක් සිංහල භාෂාවෙන් තලගුනේ වන්නකු නිලමේද, මලබාර් භාෂාවෙන් අයියර්ලු නායක්කර් විසින්ද සකස් කරනු ලදුව එම පිටපත් එම පෙට්ටියෙහි බහා සලකුණු කර, අගුල් දමා ලා කඩින් මුද්‍රා තබන ලදී.
මේ සෑම පෙට්ටියකම සලකුණු සහ ඒවා භාර දුන් අයගේ නම් ඇතුළත් විස්තරයක්ද වෙනම සකස් කර, මහනුවර සාන්චි මණ්ඩපයේදී මධ්‍යම රාත්‍රී
දොළහට එක් එක් නිලධාරීන්ට භාර දෙන ලදී. ඔටුන්න ඇතුළු අනිකුත් ස්වර්ණමය භාණ්ඩ හන රෙදිවලින් ඔතා පෙට්ටිවල තැන්පත් කරන ලදී. ඉංග්‍රීසි හමුදාව මහනුවරට ළඟා වූ බව සැල වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, දළදා වහන්සේ ඉවත් කර ගෙන යෑමේ කටයුත්ත ඉඹුල්මල් ගෙදර රාළ සහ තවත් භික්ෂුන් වහන්සේලා කීප දෙනෙකුට පැවැරිය. රජතුමා තමන්ට හිතෙෂී දොරගමුවේ පිහිරාළත් හේවා විස්සේ මඩුප්පිළි රාළත්, තමන්ගේ බිසෝවරුන්ද, සමගින් උඩවත්ත කැලය හරහා මහවැලි ගඟෙන් එතරවී, මැද මහනුවර උඩුපිටියේ ගල්ලැහැවත්තේ බෝමුරේ ආරච්චිගේ නිවසට පැමිණියහ. එහිදී තමන්ගේ හැඩරුවට සමීප හැඩරුවෙන් යුතු, හේවා විස්සේ මඩුප්පිලි රාළ පමණක් නතර කරගෙන අනික් දෙදෙනා ආපසු යවන ලදී.
තවත් ආරක්ෂාව පතා රජු කන්ද පැත්තේ ගල් ලෙනක සැඟවීමට මැද මහනුවර කන්ද පහළ පිහිටි උඩපිටියේ ගල්ලැහැ වත්තේ බෝමුරේ ආරච්චිගේ නිවසින් රාත්‍රියේ පිටත් විය. නමුත් අධික අන්ධකාරයත්, අධික වර්ෂාවත් නිසා මාර්ගය සොයාගත නොහැකි වූ රජු ආපසු පැමිණ බිසෝවරුන් සමග එම නිවසේම ලැගුම් ගත්තේය.
හෙළයේ අවාසනාවන්ත දිනය වන 1815 පෙබරවාරි 18 වන දිනය උදා වී හෝරා කීපයක් ගතවුණි. මාරාවේශ වූ සබරගමු වැසියන් කීප දෙනකු සහ ඉංග්‍රීසි හේවාපන්නයක්ද සමගින් එක්නැලිගොඩ නිලමේත්, බඩුපිටියේ රාළත් බෝමුරේ ගමට ළඟා විය. අතරමගදී ඔවුන්ට කලබලයට පත්ව සිටි කොලු ගැටයකු හමුවිය. එක්නැලිගොඩ නිලමේ කොල්ලා අල්ලා ගෙන ඔහුට වධ හිංසා කිරීමට පටන් ගත්තේය. දිවි බේරා ගැනීමට කොල්ලා දේවයන් වහන්සේ සිටිනා තැන පෙන්වීය. රජු සැඟව හුන්නේ බෝමුරේ රාළගේ නිවසේය.
බෝමුරේ රාළගේ නිවස පිහිටියේ විශාල නුග රුකක් ආසන්නයේය. නිවස ඉදිරිපිට ලන්සයක් තබාගත් මුරකරුවෙකු විය. එක්නැලිගොඩ ඇතුළු පිරිස නිවස සමීපයට යන විට ස්ත්‍රීහු දෙදෙනෙක් විවර කර තිබූ දොරක් තදින් වැසූහ.
එක්නැලිගොඩ දොරට තට්ටු කර දොර විවර කරන ලෙස රජුට දැන්වීය. නමුත් දොර විවර නොවුණි. පසුව මෝල්ගස් පහරින් දොර කඩන ලදී. සබරගමු වැසියෝ මාරාවේශව නිවසට ඇතුළු වූහ. ඔවුහු බිසෝවරුන් පැළඳ සිටි ආභරණ සහ අඟනා පට රෙදි ගලවා යට රෙදි පිටින් නිවසින් බැහැරට ඇදගෙන ආහ. බටුපිටියේ රාළ බිසවුන්ගේ නාස්වල සහ කන්වල පැළඳ සිටි රන් ආභරණ පැහැර ගත්තේ එම ඉන්ද්‍රීයන් ඉරා රුධිරය සිරුර පුරා ඇඳ හැලෙද්දීය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දෙසට ඇඟිල්ල දිගු කළ එක්නැලිගොඩ නිලමේ මේකා වැල්පටක් ගෙන ඌරෙක් වගේ අත් පා කුදලාපිය පැවැසූ විට අත් පා බඳිනු ලැබූ රජු නිවසින් පිටතට ඇඳගෙන පැමිණියේය.
කේ.ඇම්. ද සිල්වා සහ හවඩ් රිගිනිස් ලියන ලද ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයහි සඳහන් ලෙස 1815 උඩරට අල්ලා ගැනීමේ කුමන්ත්‍රණ ක්‍රියාවලියේදී එහි ප්‍රධාන චරිතය රඟ පෑ ජෝන් ඩොයිලිගේ විශ්වාසවන්ත සහකරුවා මෙන්ම බ්‍රිතාන්‍ය ඔත්තුකාර කණ්ඩායමේ ප්‍රධානියා වූයේ තොම්බි මුදලි නොහොත් පෙරමුණේ මුදලි පදවිය හෙබ වූ දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධනය. තොම්බි යනු එකල ඔත්තුකාර සේවා සඳහා ව්‍යාවහාර කළ වචනය විය. ශ්‍රී වික්‍රම රාජසිංහ බෝමුරේදී අල්ලා වැල් පටවලින් බැඳ තබන අවස්ථාවේද දොන් ඒඩ්‍රියන් එම ස්ථානයහි සිටි ප්‍රධාන නිලධාරියෙකු විය.
1830 දී අභාවප්‍රාප්ත වූ දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන මුදලිතුමා යනු මෙරට ප්‍රථම විධායක ජනපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ මුත්තාය.
සිංහලයේ රජතුමා අල්ලාගත් පුවත 1815 පෙබරවාරි 19 වන දින තෙල්දෙණිය රජුගේ ධාන්‍ය ගබඩාවේ සිටි ජෝන් ඩොයිලි එවකට ලංකාණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග් වෙත දන්වා යවන ලදී.
එම පණිවුඩය ලැබෙන විට ආණ්ඩුකාරවරයා සිටියේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමින්ය. වසර තුන්සියයක් මුළුල්‍ලේ ජාතීන් තුනකටම කළ නොහැකි වූ උඩරට ජයග්‍රහණය ගැන ඔහු සතුට කඳුළු වැගිරූ බව ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු ජේ.එම්.එෆ් හැමිල්ටන් ලියූ සටහනක දැක්්වේ.
ඉතාමත් ඉක්මනින් ආරක්ෂිත මාර්ග ඔස්සේ රජු ඇතුළු පිරිස කොළඹට එවන ලෙස රොබට් බ්‍රවුන්රිග්, ජෝන් ඩොයිලිට දන්වා යවන ලදී. ඒ සමගම දෝලා දෙකක්ද, කර්නල් හාඩි සහ කර්නල් හුක් ප්‍රමුඛ සොල්දාදුවන් සියයක පිරිසක්ද ජෝන් ඩොයිලි වෙත යවන ලදී.
රජු ඇතුළු පිරිස කොළඹට යැවීමේදී ඩොයිලිට කරුණු කීපයක්ම වැදගත් විය. ආරක්ෂිත මාර්ග සොයා ගැනීම ප්‍රධානම කරුණ විය. අනිත් කරුණු වූයේ රජතුමාට සහ බිසෝවරුන්ට සුදුසු ඇඳුම් සපයාදීම, ගමනට අවශ්‍ය දෝලා සහ දෝලාකරුවන් ලබාගැනීම සහ නැවතුම් පොළවලදී අවශ්‍ය සැප පහසුකම් ලබාදීමය. මෙහිදී මහනුවර නගරය මගහැර විකල්ප මාර්ග සොයා ගැනීමට ඩොයිලි පරිස්සම් විය.
1815 පෙබරවාරි 22 දින සවස තෙල්දෙණියෙන් ගමන් ආරම්භ කළ රජතුමා ඇතුළු පිරිස රාත්‍රී 8.30ට පමණ හක්කෙට්ටුවාගල ආසන්නයේ පිහිටි දඹරාව ධාන්‍ය ගබඩාවට ළඟා වූහ. දඹරාවෙන් පිටත් වූ රාජකීය පිරිස එතැනින් සැතපුම් දෙකක් දුරින් පිහිටි ඉඩකඩ සහිත ගොඩනැගිලි තිබූ දූල්වැවට යවන ලදී. ඊළඟට දූල්වැවේ සිට වෑ උඩටය.
මෙසේ කොළඹට සම්ප්‍රාප්ත වූ සිංහලේ අවසන් රජතුමා 1815 මාර්තු හයවන දින සිට 1816 ජනවාරි විසි හය වන දින දක්වා කොළඹ කොටුවේ ගාලු මුවදොර ආසන්නයේ පිහිටි නිවසක රඳවා තබන ලදී. 1816 ජනවාරි 24 දින රාජකීය පිරිස කොන්වෝල්ස් නැවෙන් මදුරාසිය බලා පිටත් කරන ලදී.
කොන්වෝල්ස් නැවෙන් මදුරාසිය බලා පිටුවහල් කරනු ලැබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු රාජකීය පිරිසෙහි භාරකාරත්වය දැරුවේ විලියම් ග්‍රැන්විල් නමැති බ්‍රිතාන්‍යයේ සිවිල් සේවකයෙක්ය.
නැවෙහි ගමන් කරන අතරතුර
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විලියම් ග්‍රැන්විල් සමග දවසකට දෙතුන් වතාවක් කතා බහෙහි යෙදීම සාමාන්‍ය සිරිතක් විය.
එවන් අවස්ථාවක ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමන්ගේ ඉතාමත් සුවිශාල ධනස්කන්ධයක් ශ්‍රී ලංකාව තුළ නිදන් ගත කර ඇති බවත් ඇහැළේපොළ එම ධන නිධානය සොරා ගනීවිද යන සැකය තමන් තුළ ඇති බව විලියම් ග්‍රැන්විල්ට පැවැසූ බව මහා වංශයේ සඳහන් විය.
නිධානය තියෙන තැන කියන්න මදුරාසියට ගිය ගමන්ම බ්‍රවුන්රිග් උතුමාණන්ට කියන්නම්. යනුවෙන් ග්‍රැන්විල් කී බව සඳහන්ය.
නමුත් එයට රජු දුන් පිළිතුර ග්‍රැන්විල්ට පැහැදිලි නොවීය. තෝල්කයන් ගැන විශ්වාසයක් නොතිබුණ රජු තෝල්කයින් මගින් අදහස් හුවමාරු කරගැනීම
ප්‍රතික්ෂේප කළේය. මෙනිසා නිදන් වස්තුව පිහිටි ස්ථානය ගැන ග්‍රැන්විල්ට දැනගැනීමට නොහැකි විය.
විලියම් ග්‍රැන්විල් තම ලිපියෙහි වැඩිදුරටත් දක්වා ඇත්තේ සිංහලයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ නිදන් කළ එතුමාගේ මහානර්ඝ වස්තු සමූහය ලංකාවේ පොළවේ කිසියම් ස්ථානයක ස්ථිර වශයෙන් නිදන්ව ඇති බවය. එහෙත් ඒ කාරණාව දන්නා අයෙක් මේ බිමේ දැන් නැත. දැනගෙන හුන් රජු ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවේ 1832 ජනවාරි 30 දින මියගියේය.
පීටර් කැනියුට් පෙරේරා








0 comments