වනයෙහි අතරමං වූ තුන්හැවිරිදි දැරිය රැය පහන් වන තුරු ආරක්ෂා කළ අන්ධ සුනඛයා ‘MAX’

වනයෙහි අතරමං වූ තුන් හැවිදිරි දැරියක් අසල රැඳෙමින් රැය පහන් වන තුරු ඇයට රැකවරණ සැලසූ සුනඛයකු ඕස්ට්‍රේලියානු පොලිසියේ අගැයීමට ලක්ව ඇත.’ඔරෝරා’ නම් දැරිය ‘කුවීන්ස්ලන්ඩ්’ ප්‍රාන්තයේ පිහිටි තම නිවසින් බැහැර ගොස් බොහෝ වේලාවක් නැවත නොපැමිණි හෙයින් පොලිසිය මුල් වී සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුණි.
නිවසේ සුරතලයට ඇති කළ දාහත් හැවිදිරි ‘මැක්ස්’ නම් සුනඛයාත් ඔරෝරා පසුපස ගමන් කර ඇත. මැක්ස්ගේ දෑස් අන්ධ අතර කන් ඇසීමේ දුර්වලතාවයක් ද ඇත.දැරියගේ ඥාතීන් කඳු සහිත ප්‍රදේශයක අතරමංව සිටි ඔවුන් සොයා ගන්නා විට සුනඛයා පැය දහසයක පමණ කාලයක් ඔරෝරා ආරක්ෂා කරමින් ඇය අසල ගතකර තිබුණි.
 නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දැරිය කෑ ගසන ශබ්දය ඇසුන බව ඔරෝරාගේ මිත්තණිය වන ලෙයිසා මාරි බෙනට් පැවසුවාය.”මම කන්ද තිබෙන දිශාවට ඉතා වේගයෙන් දිව්වා. මුදුනට නැඟ ගත් පසු සුනඛයා මම සිටින තැනට දුවගෙන ඇවිත් මාව ‘ඔරෝරා’ සිටින තැනට කැඳවාගෙන ගියා” යැයි ඇය ඕස්ට්‍රේලියානු මාධ්‍යයට ප්‍රකාශ කළාය.
එදින රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 දක්වා පහත බැස තිබුණ අතර, ඔරෝරා සහ මැක්ස් ගල් කුලක් පාමුළ රාත්‍රිය ගත කර ඇත. ඇයගේ ශරීරයේ සීරුම් තුවාල පමණක් දක්නට ලැබිණි.එම සෝදිසි මෙහෙයුම සදහා හදිසි අනතුරු අංශවල සේවකයන් සියයකට අධික ප්‍රමාණයක් සහ තවත් බොහෝ පිරිසක් සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ බවත් වාර්තා වෙයි. මැක්ස්ගේ ක්‍රියාව අගය කළ පොලිසිය, ඔහු ‘ගෞරවනීය පොලිස් සුනඛයකු’ ලෙස නම් කර ඇත.

0 comments