ජංගම දුරකථනය නොගත් බව සහතික කිරීමට සිසුවාට අත කපා ගන්න බල කරලා

බදුල්ල තැපැල් කන්තෝරු පාරේ අලෙවි සලකින් අතුරුදන් වූ ජංගම දුරකථනයක්‌ සොරකම් නොකළ බව සහතික කිරීම සඳහා වෙළෙඳසල් හිමියාගේ බල කිරීම මත (පසුගිය 19 දා) අත කපාගත් පාසල් සිසුවකු බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත කපාගත් සිසුවාගේ මව කළ පැමිණිල්ල මත පරීක්‍ෂණ පැවැත්වූ බදුල්ල පොලිසිය වෙළෙඳසලේ හිමිකරු සහ ඔහුට සහාය වූ ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 30 දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු නයන්ත සමරතුංග මහතා පෙරේදා (23 දා) නියෝග කළේය. 

 මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ බඩල්කුඹුර, අළුපොත පදිංචි 31 හැවිරිදි වෙළෙඳසල් හිමියා සහ ඔහුගේ හිතවතකු වූ බදුල්ල, බදුලුපිටිය පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි.
 සිද්ධියට මුහුණපා සිටින්නේ බදුල්ල ස්‌ප්‍රිංවැලි බද්දේගම පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙකි.
 පසුගිය 19 වැනිදා බදුල්ල නගරයේ අමතර පන්තියකට සහභාගි වී දවල් 1.00 ට පමණ තවත් මිතුරකු සමඟ කීටැග් එකක්‌ මිලදී ගන්නට තමා තිහේ කඩයට ගිය බවත්, එවෙලේ කඩේ හිමිකරු නැතිවූ ජංගම දුරකථනයක්‌ ගැන විමසා ඇතුළු කාමරයකට කැඳවාගෙන ගොස්‌ සොරකම කර නැතිනම් මේ පිහියෙන් අත කපා පෙන්වන ලෙස බලකළ පසු තමන් අත කපාගත් බවත් ශිෂ්‍යයා පොලිසියට ප්‍රකාශ කර තිබේ. 
 බදුල්ල පොලිස්‌ අධිකාරි ධම්මික වීරසේකර, ස.පො. අධිකාරි උදිත් පී. ලියනගේ, මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක විපුල තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බදුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
-දිවයින පුවත්පත

0 comments