ෆිල්ම් එකක් හදන්න කෝටි ගාණක් සල්ලි දාපු පොඩි කෙල්ල මෙන්න


ලංකාවේ ළාබාලම චිත්‍රපට නිෂ්පාදකවරිය විදිහට ඔබව හැඳින්වුවොත් නිවැරදිද?
ඔව්. මම හිතන්නේ ඒ හැඳින්වීම නිවැරදියි. ඔබේ වයස කීයද? මගේ වයස අවුරුදු 20 යි.
මේ තරම් ළාබාල වයසකදී චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඔබට හැකිවුණේ කොහොමද?

මම ‘Cinepro කියන නිෂ්පාදන ආයතනයේ අධ්‍යක්ෂවරියක්. මගේ තාත්තා ජයලත් පීරිස් තමයි එම ආයතනයේ සභාපතිවරයා. තාත්තා මීට කලින් සිනමාවට සහ ටෙලි නාට්‍ය කර්මාන්තයට නිෂ්පාදන දායකත්වය ලබාදීලා තියෙනවා. අනුරුද්ධ ජයසිංහ මහතා මුලින්ම ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ තිරපිටපත අරගෙන ඇවිත් මාව හමුවෙලා කිව්වා ඒක සිනමාවට ගෙනාවොත් ලංකාවේ සිනමාවේ පෙරළියක් ඇති කරන්න පුළුවන් වේවි කියලා. ඒ අනුව තමයි මට අවස්ථාව සැලසුණේ මේ චිත්‍රපටය හරහා නිෂ්පාදකවරියක් විදිහට කරළියට එන්න.

ඒ වෙද්දී ඔබට රෝහණ විජේවීර කියන චරිතය ගැන මොන වගේ අවබෝධයක්ද තිබුණේ?
රෝහණ විජේවීර ගැන ඒ වෙනකොට මම අහලා තිබුණා. ඒත් ඔහු ගැන ලොකු දැනුමක් මට තිබුණේ නැහැ. මම ඉපදුණේ 1998 අවුරුද්දේ. මම හිතන්නේ නැහැ මගේ වයසේ කාටවත් විජේවීර කියන චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. මගේ සමහර යාළුවෝ රෝහණ විජේවීර කියලා කෙනෙක් ගැන අහලවත් තිබුණේ නැහැ. අනික අපේ වැඩිහිටියෝ වුණත් අපට හඳුන්වා දීලා තිබුණේ රෝහණ විජේවීරගේ නරක පැත්තක් පමණයි. නමුත් මේ චිත්‍රපටයේ තිරපිටපතෙන් ඔහු ගැන මීට කලින් කතාබහට ලක් නොවුණු විදිහේ කතාවක් හෙළිකරන නිසා මම කැමැති වුණා චිත්‍රපටය නිෂ්පාදනය සඳහා දායක වෙන්න. මුලින් දැනගෙන නොසිටියාට පසුව මම රෝහණ විජේවීර මහතා ගැන ලියවුණු දේවල් කියවලා ඔහු මොන වගේ කෙනෙක්ද කියලා හොඳ අවබෝධයක් ලබාගත්තා.

චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්න ඔබට මුදල් කොහෙන්ද?
මුලින්ම චිත්‍රපටයේ පිටපත අධ්‍යයනය කරලා මම තාත්තට ඒ ගැන කිව්වා. තාත්තා කිව්වා කමක් නෑ චිත්‍රපටය කරන්න කියලා. ඊට පස්සේ මම ‘Cinepro ආයතනය හරහා මූල්‍ය පහසුකම් සපයා දීලා චිත්‍රපටය තිරයට ගේන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා.
චිත්‍රපටයට කොච්චර මුදලක් වැය වුණාද?
රුපියල් මිලියන 120 ක් විතර වියදම් වුණා. ප්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදීත් තවත් මුදල් වැයවේවි.
දැනට ලැබෙන ප්‍රතිචාර අනුව ඒ වැයවූ මුදල චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් උපයා ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවාද?

හුඟක් අය චිත්‍රපටය නරඹලා ඒක හොඳයි කියලා කියනවා. ඊට වඩා වෙනස් අදහස් දරන අයත් නැතුවා නෙවෙයි. තවම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන නිසා ආදායම මොන වගේ වේවිද කියලා දැන්මම කියන්න අමාරුයි.
චිත්‍රපටයේ නිෂ්පාදකවරිය වුණාට එහි මංගල දර්ශනයටවත් ඔබ සහභාගි වුණේ නැහැ. ඇයි ඒ?
මේ වෙද්දී මම ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරනවා. නිවාඩුවට තමයි මේ වතාවේ මම ලංකාවට ආවේ. මම ඕස්ට්‍රේලියාවට ගියේ උසස් පෙළ අවසන් වූ විගසමයි. ඒ යද්දී මම චිත්‍රපටය නරඹලා තිබුණේ නැහැ. මේ වතාවේ ලංකාවට ආවම තමයි මට චිත්‍රපටය නරඹන්න ලැබුණෙත්. මේ දවස්වල මම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට මගේ දායකත්වය ලබාදෙනවා.
මින් ඉදිරියටත් සිනමාවට දායක වෙන්න හිතාගෙන ඉන්නේ නිෂ්පාදකවරියක් විදිහට විතරද?

මට තව අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ලංකාවට ඇවිත් ‘Cinepro ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ. රඟපාන්න නම් මගේ කැමැත්තක් නැහැ. ඒත් කවදා හරි අධ්‍යක්ෂණයට පිවිසෙනවා නම් ඒ ගැන හොඳට හදාරලා තමයි ඒ දේ කරන්නේ. මෙවැනි චිත්‍රපටයක් මුදල් යෙදවීම පිටුපස වෙනත් දේශපාලන කතාවක් තිබෙනවා යැයි කෙනකු කීවොත් ඒ කිසිවක් ඇත්ත නමෛයි. මේ චිත්‍රපටයට මුදල් යෙදවීම පිටුපස දේශපාලන අරමුණක්වත්, වෙනත් කිසිම බලාපොරොත්තුවක්වත් නෑ.
0 comments