මේ පළමු ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂවරයා ගැන ඔබ කියවිය යුතුම සංවේදී කතාවකි.


ඔහු නමින් වී. හේමපාල ය. තමන්ගේ වෘත්තීය සගයෝ ඔහුට කිවේ තලේ කියා ය. බොහෝ දෙනෙකුට ඔහු තලේ අයියා ය. ඇසුරු කරන්නන්ට හිත හොඳ මිනිසෙකි. ඔහු අතිශය පොහොසත් ය. ඒ අවංක කමින් හා නිහතමානිත්වයෙනි. නමුත් මේ මොහොතේත් මුදල් අතින් නම් ඔහු අතිශය දුප්පත් ය. ඒ ඔහු හම්බ කළේ මුදල් ම නොවන නිසා ය.
ඩී.බී. නිහාල්සිංහ යනු සිනමාවේ දැවැන්තයෙකි. මහා පත්තර කාරයකු වූ ලංකාදීපයේ ඩී.බි. ධනපාලයන්ගේ පුතා ය. චිත්‍රපට සංස්ථාවේ පළමු සභාපතිවරයා ය. ඊට වඩා ඔහු හොඳ සිනමාකාරයෙක් ය. වැලි කතර ඔහුගේ දැවැන්ත සිනමා නිර්මාණයකි. අපට මතක ඇත්තේ ගෝරිං අයියා ය. ඒ ගෝරිං අයියා ඔබ දකින්නේ තලේ අයියා ගේ ඇසෙනි . ඒ කියන්නේ වැලි කතර සිනමා අධ්‍යක්ෂවරයා ඔහු ය.
අද වන විට රුපවාහිනී නාලිකා බොහොමයක වැඩියෙන් ම පෙන්නන්නේ ටෙලි නාට්‍ය ය. ඒත් ලංකාවේ අපි ඉස්සෙල්ලාම දැක්ක ටෙලි නාට්‍යය දිමුතු මුතු ය. ඒ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ ද කැමරා අධ්‍යක්ෂවරයා තලේ අයියා ය.
පසු කලෙක ස්වරණවාහිනිය ආරම්භ කරන විට එහි පළමු කැමරා අධ්‍යක්ෂවරයා වන්නේ ද තලේ අයියා ය.
ඔහු සිංහල සිනමාවේ එක් යුගයක ඩි.බි නිහාල්සිංහ, ගාමිනී ෆොන්සේකා සමග වැලිකතර,සිරිල් මල්ලි, රිදී නිම්නය ආදි චිත්‍රපට 50කට වඩා කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙන්නේ ය..
කෙලි මඩල වෙනුවෙන් ජනාධිපති සම්මාන මෙන්ම දිමුතු මුතු, කළු මෙන්ම රේඛා වෙනුවෙන් ද රුපවාහිනී සම්මාන ද තලේ අයියා සමත් විය.
නමුත් මේ කියන්නට යන්නේ ඔහුගේ වත්මන් කතාව ය. එය අතිශය දුෂ්කර ය. මේ වන විට තලේ අයියා ඉන්නේ දැඩි ලෙස රෝගාතුරව ය. ඒ තම බිරිඳ සමග හොරණ ප්‍රදේශයේ ය. දැන් ඔහු හදවත් රෝගියෙකි. හදිසි ශල්‍ය කර්මයක් කළ යුතුව ඇතත්, ඒ තරම් මිල මුදල් ඔහුට නැත. ජීවිතය ගැට ගහ ගන්නේද අමාරුවෙන් නිසා රජයේ රෝහලකින් ඔහු සැත්කම කර ගන්නට සිතුවේ ය. නමුත් ඒ සඳහා කලක් බලා සිටිය යුතුය. ඒ තරම්ම කලක් ඉන්නට ඔහුට හැකියාවක් නැත්තේ දැන් දැන් තත්ත්වය බරපතල වී ඇති නිසා ය.
ඔහු ඉල්ලා සිටින්නේ එකම දෙයකි. ඒ, හදවත් සැත්කම කර ගන්නට උදව් වන ලෙස ය. පුද්ගලිකව නම් ලක්ෂ 10 ක් පමණ වැය වේ. එසේත් නැත්නම්, රජය මැදිහත් වී රජයේ රෝහලකින් මේ සැත්කම ඉක්මනට කරදෙන ලෙසය.
මාධ්‍ය වලට මෙන්ම කලාකරුවන්ට ද එකතු වී යමක් කළ හැකිනම් ඉතා අගනේය. ස්වරණවාහිනිය විසින් මෙය කළ යුතුම දෙයක් මෙන්ම ඔවුන්ට මෙය කළ හැකි දෙයකි. උදව් කරන්නට දානපතියන් ඕනා තරම් සිටින්නට පුළුවන. එය මාධ්‍යයක් ලෙස සම්බන්ධීකරණ කටයුත්තට දායක වන්නැයි අපි ස්වර්ණවාහිනී ප්‍රමුඛ මාධ්‍ය ජාලයෙන් ඉල්ලා සිටින්නේ එය ඔබේ යුතුකමක් බැවිනි. මන්ද ඔහු ස්වර්ණවාහිනියේ ප්‍රථම කැමරා ශිල්පියා ය.
ඔහුගේ තොරතුරු
M.V හේමපාල (M.V. Hemapala), අංක.375/1-1
කන්දහේන .රත්මල්ගොඩ.
පෝරුවදණ්ඩ
දුරකතන අංකය–077 926 2766…
ගිණුම් අංකය – 210-2-001-3-5628759 – මහජන බැංකුව , කොල්ලුපිටිය සමුපකාර ශාඛාව
වෛද්‍යවරියගේ නම  – විශේෂඥ වෛද්‍ය හෘද රෝග සේපාලිකා මෙන්ඩිස්

ගාමිණි ෆොන්සේකා සමග

වැලිකතර රුගත කිරීම් අතරතුර

0 comments