පොඩි ළමයි වගේ අපිව තුරුළු කර ගෙන තමයි හැමදේම කියලා දෙන්නේ
නම – සිනෙති අකිලා ලන්සක්කාර
වයස – අවුරුදු 23
ගම – ඉපදුණේ කොළඹ, මුල් ගම පඬුවස්නුවර. දැන් පදිංචිය කඩවත.
පාසල – එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික පාසල, කුලියාපිටිය සාරනාත් මහ විද්‍යාලය
සිනමාවටම ගැළපෙන අපූරු නමක් නේ?
හැමෝම වගේ ඔය කතාව කියනවා. මුලින්ම එහෙම කිව්වේ ප්‍රවිණ රංගන ශිල්පි පාලිත සිල්වා.
පුංචි සන්දියේ ඉඳන් කලාවට එන්න මඟ බලන් ඉඳලා තියෙන්නේ?
එහෙමම කියන්නත් බැහැ. හැබැයි කලාවට පුදුම ආදරයක් හා ආසාවක් පොඩි කාලේ ඉඳලම තිබුණා. පොඩි කාලේත් සබකොලයක් තිබුණේ නැහැ. පාසල් වේදිකාවේ, නර්තනයෙන්, රංගනයෙන සහ ගායනයෙන් සහභාගි වෙලා සම්මාන පවා දිනලා තියෙනවා.
සිනෙති කියලමද හැමෝම කතා කරන්නේ?
යාළුවෝ කතා කරන්නේ සීනු, සිනේ කියලා. මාව තරහගස්සගන්න ඕනේ වුණාම ‘සිමෙන්ති’ කියලත් විහිලු කරනවා.
සිනෙති කියන්නේ මේ කළු එතනා නේද?
‘සිරි පැරකුම්’ හි කළු එතනාගේ චරිතයෙන් තමයි මම සිනමාවට අඩිය තියන්නේ.
සිනෙති ගේ මුල්ම රංගනය?
මට මාස 2, 3 නේදී ‘තහංචි’ කියලා ටෙලි නාට්‍යක මම රඟපාලා තියෙනවාලූ. මගේ අම්මා තමයි ඒ ගැන කිව්වේ. ඇයත් ඒ නාට්‍යයේ රඟපාලා තියෙනවා. පාලිත පෙරේරා මහත්මයා තමයි ඒ නාට්‍යයේ කැමරාකරණයෙන් දායක වෙලා තියෙන්නේ. ඉතින් අවුරුදු 20 කට පස්සේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙ රඟපාන්න අම්මා මාව එක්ක ගියාම පාලිත අංකල් මගේ අම්මව දැකලා ඇහුවා “මේ ඒ චූටි කෙල්ලද, මේ කෙල්ල දැන් කොච්චර ලොකු වෙලාද කියලා.“ ඔහුගේ ඇස් වලට කඳුළුත් ආවා. සිරි පැරකුම් කැමරාකරණයෙන් දැයක වුණේත් පාලිත අංකල්මයි.
රංගනය කාලෙකින් දකින්න ලැබුණේ නැහැ නේ?
ටෙලි නාට්‍ය කිහිපයක් සහ ෆිල්ම්ස් කිහිපයකුත්කරලා තියෙනවා. නමුත් තවම ආවේ නැහැ. හැබැයි ළඟඳිම ‘සරිගම’ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ඒවී.
ඕලු වෙන්න සිනෙතිට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
දවසක්. සෝමරත්න දිසානායක මහතා සහ රේණුකා බාලසූරිය මහත්මිය මට එන්න කිව්වා ෆිල්ම් එකක ඔඩිෂන්වලට. හැබැයි ඒ චරිතෙට මාව ගැලපෙනවාද සහ මගේ දක්ෂතා බලලයි තෝර ගන්නේ කියලත් කිව්වා. ඉතින් ඒ වගේම ඔවුන් මගේ දක්ෂතාව විශ්වාස කරලා මාව ඕලු ගේ චරිතයට තෝරා ගත්තා. කළු එතනට වඩා බොහොම වෙනස් අවුරුදු 18 ක තරුණියකගේ චරියක් තමයි ඕලූ කියන්නේ.. සෝමරත්න දිසානායකයන්ටත් රේණුකා බාලසූරිය මහත්මියටත් මම ගොඩාක් ස්තුති වන්ත වෙනවා මාව තෝරා ගත්තට.
රංගනය ඔබට පහසු වුණාද?
චරිතය කරන්න ලේසි වුණේ විශේෂයෙන්ම සෝමරත්න මහතා සහ රේණුකා මහත්මියගෙන් ලැබුණු සහය නිසා. පොඩි ළමයි වගේ අපිව තුරුළු කර ගෙන තමයි හැමදේම කියලා දෙන්නෙ. අපි හත් දෙනාටම ඔවුන් එක වගේ ආදරේ කළා. අපේ ස්ට්‍රෙස් නැති වෙන්න එය ලොකු රුකුලක් වුණා.
චරිතයේ රසවත් සිදුවීමුත් තිබුණාලූ නේද?
ඕලුට වැස්සේ තෙමි තෙමි සින්දුවකට නටන්න වෙනවා. ඉතින් ඒ දර්ශනය රූ ගත කිරිම් පටන් ගත්තේ හවස හයට. එළි වෙනකන්ම ඒ රූ ගත කිරිම් කළා. එළි වෙද්දි සින්දුවේ පද ටික කියා ගන්නත් බැරි තරමටම මාව වෙව්ලනවා.. නමුත් කොහොම හරි ඒ දර්ශනය කරලා ඉවර වෙද්දි උදේ හයටත් කිට්ටුයි. අන්තිමට හවස හයේ ඉඳන් උදේ හය වෙනකන්ම මම නෑවා.
ඕලූට හොඳ ප්‍රතිචාර ලැබේවිද?
මේ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය ඇතුළු විශේෂ දර්ශනවාර දෙකක් තිර ගත වුණා. ඒ වෙලාවේ චිත්‍රපටය නරඹපු අයගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය කිව්වේ මම ලොකු වෙනසක් කරලා තියෙනවා කියලයි. ඒ ගැන සතුටුයි. චිත්‍රපටය ළඟඳිම තිරගත වෙනවානේ.. ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් අනිවාර්යෙන්ම හොඳ වෙයි කියලා හිතෙනවා.
අපි සාමාන්‍ය ජීවිතේ සිනෙති හඳුනා ගනිමු?
ගොඩක් සරලයි. අද තියෙන දේ අද කරලා සතුටින් ඉන්න තමයි බලන්නේ. ලොකු බලාපොරොත්තු මගේ ජිවිතේ නැහැ. එහෙම හිතන්න තේරෙන්නෙත් නැහැ. කාට හරි උදව්වක් කරගෙන ජිවත් වෙන්න තියෙනවා නම් එච්චරයි.
වැඩිපුර ආරාධනා ලැබෙන්නේ ගැමි චරිතවලට නේද?
ගොඩක් අය කියනවා මට තියෙන්නේ චාම් ගැමි රූපයක් කියලා. සමහරවිට මගේ රූපේ සහ කොණ්ඩෙ හින්දා වෙන්න ඇති. මටත් වෙලාවකට එහෙම හිතෙනවා..ඒ නිසා වෙන්නත් ඇති වැඩිපුර ඒ චරිතවලට ආරාධනා ලැබෙන්නේ..
මෙහෙම ගියොත් එකම රාමුවකට සිනෙති කොටු වේවිද?
ගැමි චරිත වලින් මිදිලා වෙනස් චරිත කරන්නත් කැමැතියි. හැබැයි මගේ සීමාව තුළ මට අපහසුවක් නොදැනෙන චරිත වෙන්නත් ඕනේ. දැනට ඒ වගේ වෙනස් සුළු චරිත කිහිපයක් කරලා තියෙනවා..
පෙම්වතිය වෙන්නත් පුළුවන්නේ?
ඔව්. අනිවාර්යන්ම. දැන් ඒ වයසේනේ ඉන්නේ.
සිනෙතිගේ විලාසිතාත් චාම්ද?
එහෙමම කියන්න බැහැ.. තැනට සුදුසු විදිහට මම ඇඳුම් තෝර ගන්නවා. හැබැයි මම කොහොම ඇන්දත් මාව පේන්නේ හරිම චාම් විදිහට කියලයි හැමෝම කියන්නේ.
ඔබේ ගමනට ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා ඇති?
පවුලේ ඉන්නේ මමයි අම්මයි විතරයි.. හැබැයි මම හැමෝටම කියන්නේ මට අම්මලා පස් දෙනෙක් ඉන්නවා කියලයි. ඒ මගේ අම්මයි, අම්මාගේ සහෝදරියෝ හතර දෙනයි. ඒ හැමෝම මට ආදරේ කරන්නේ තමන්ගේම දරුවෙකුට වගේ. ඔවුනුත් කලාවට හරි ආදරෙයි. ඒ නිසා පුංචි කාලේ ඉඳලම මගේ ගමනට මගේ පවුලේ අය ලොකු රුකුලක් වුණා. ඒ වගේම මගේ ගමනට තවත් අය උදව් කළා. විශේෂයෙන් සෝමරත්න දිසානායක මහතා, රේණුකා බාලසූරිය මහත්මිය..මගේ යාළුවෝ සහ මට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ඇත්තටම මට ලොකු ශක්තියක්.
සිනෙතිගේ ඉදිරි ගමන ගැන මම ඇහුවොත්?
ජපන් භාෂාව හදාරන කෙනෙක්. දැන් ඒ අධ්‍යාපන කටයුතු අවසන් වේගෙන යන්නේ. ඊළඟට දෙමළ භාෂාව හදාරන්න සුදානම් වෙනවා. මොකද මම හිතනවා ඒ භාෂාව රංගන කටයුතු වලට සෑහෙන ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ නිසාමයි මම ඉගෙන ගන්නේ. රංගනය හැරෙන්න වෙනත් රැකියාවක් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.
රංගනය පිළිබඳ හදාරන්න අදහසක් නැද්ද?
සාමාන්‍ය පෙළ අවසන් වුණ ගමන්ම සුමිත් රත්නායකගේ සහ මධුකා මඩවල යන ප්‍රවීණයන් යටතේ වසරක රංගන පාඨමාලවක් කළා. තවත් ඉගෙන ගන්න නම් ආසයි. ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි. නමුත් ලංකාව තුළ රංගන පාසලක් නොමැති කම ලොකු අඩුපාඩුවක්.









0 comments