Entertainment - මමත්, මගේ බිරියත් කරන රැකියා අනුව, අපි ජීවත් වෙන්නේ රටවල් දෙකක

දශක දෙකකට ආසන්න කාළයක් ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් අදටත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස ඔබ අතර ජනප්‍රිය ඔහු විටෙක නිවේදකයෙක් ද වෙයි. මේ දිනවල ඔහු වඩාත් ජනප්‍රිය රිදම් චැට් වැඩසටහන මෙහෙයවීමෙනි. ඔහු නමින් amila abeysekara . මේ ඔහු පිළිබඳ පුවත්පතෙහි පළ වූ ලිපියකි.

මේ දවස්වල ජනප්‍රිය, ‘රිදම් චැට්’වලින් ම කතාව අරඹමු නේද?

රිදම් චැට් කියන්නෙ මම උපරිමයෙන් විඳිමින් ඉදිරිපත් කරන වැඩසටහනක්. මා මේ වැඩසටහනට කොතරම් සමීපද කියනවා නම්, සති අන්තයේ ශ්‍රී ලංකාවෙන් පිටවෙලා ගිහින්, ඊළඟ සෙනසුරාදා ශ්‍රී ලංකාවට එන්නෙ මේ වැඩසටහන වෙනුවෙන්.

වැඩසටහන තුළ මා ලබන දෙයක් වේ නම්, එහි ගෞරවය රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමන්ට සහ මේ වැඩසටහනේ නිෂ්පාදකවරයාට හිමිකර දෙන්න මම කැමතියි. හැම මෙහොතකම මා වෙනුවෙන් පෙනී සිටිමින්, රිදම් චැට් සමඟින් මට රැඳෙන්න අවකාශ ලබා දුන්නේ ඒ දෙපළයි.

නිතරම විදෙස් ගත වෙනවා. ඒකට හේතුව මොකක්ද?

බිරිය තේජා, විදේශීය ගුවන් සමාගමක ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක්. ඒ නිසා, බොහෝ අවස්ථාවල මම ඇයත් සමඟ රැඳෙන්න, ඈ සිටින රටට යනවා.

ආමන්ත හා පබා ටෙලි නාට්‍ය කියන්නෙ අපූරු සබැඳියාවක්. කල් ගත වුණත්, ඒ මතකය ඔබ වෙතින් ගිලිහී ගොස් නැතැයි මා සිතනවා?


එය මගේ රංගන දිවියේ අපූරු සංධිස්ථානයක්. කෙනකුට තමන්ගේ ජීවිතයේ එවන් සුවිශේෂී කාල පරිච්ජේද තිබෙනවා. පබා ටෙලි නාට්‍යයේ ආමන්තගේ චරිතයෙන් තමයි බොහෝ දෙනකුගේ මතකය තුළ මා රැඳුනේ.

රංගන දිවියේ ප්‍රවේශය පිළිබඳ මතකයට නගනවා නම්?

1998 අවුරුද්දෙ අග භාගයේ පමණ ‘දෙපත් නයි’ ටෙලි නාට්‍ය තමයි මගේ ප්‍රථම රංගනය. ඒ දවස්වල අද වගේ මෙරු මතුවෙනවා වගේ නළු නිළියො ක්ෂේත්‍රයට ආවෙ නැහැ. අපි රංනයට එන කාලේ ප්‍රධාන චරිත කළේ ශ්‍රියන්ත මෙන්ඩිස්, රොජර් සෙනෙවිරත්න, පාලිත සිල්වා වැනි රංගන ශිල්පීන්. අපි පටන් ගත්තෙ ප්‍රධාන චරිතවලින් නෙමෙයි. සෙසු චරිතවලින්. ඒ කාලෙ අද වගේ ප්‍රධාන චරිතවලින්ම රංගනයට එන පසුබිමක් තිබුනෙ නැහැ. ටිටෙන් ටික රංගනය ගැන ඉගෙන ගනිමින් තමයි ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ආවෙ. ඒ කාලෙ ටෙලි නාට්‍යයක සෙසු චරිතයකට තෝර ගත්තහම, අධ්‍යක්ෂවරු අපට කියනවා, රඟපාන්න දර්ශන නැති අවස්ථාවල වුණත්, දර්ශන තලයට ඇවිත් අනිත් අය රඟපාන අයුරු බලා ඉන්න කියලා.

දුක් මහන්සියෙන් උපයාගත් රංගන දීවියේ අත්දැකීම් ගැන අමිල තෘප්තිමත්ද?

සතුටක් තියෙනවා. අපි ආවෙ පහසු ගමනක් නෙමෙයි. ඒ ආ ගමන තුළ මේ වනවිට කරන්න ලැබුණු දේ ගැන සතුටක් තියෙනවා. ඒත්, නළුවෙක් විදිහට විවිධ චරිත රගපෑමේ පිපාසය මට තියෙනවා.

පෙම්වතාගේ චරිතයටම සීමා වෙලා. වෙනස් චරිතවලට යන්න අදහසක් නැද්ද?

මෙගා ටෙලි නාට්‍ය රැල්ලත් සමඟ සිදු වූ දෙයක්. එක් ටෙලි නාට්‍යයක පෙම්වතාගෙ චරිතය ජනප්‍රිය වීමත් එක්ක එවැනි චරිත රැල්ලකටම කොටු වෙන්න සිද්ධ වුණා. ඒත්, පෙම්වතාගෙ චරිතයෙන් මිදෙන්න ලැබුණ අවස්ථාත් තිබුණා. මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘සොඳුරු දඩයක්කාරයා’ හි වෙනස් චරිතයක් මම රගපානවා.

සිනමාව හා වේදිකාවට ඔබේ දායකත්වය අඩුයි. එහෙම වුණේ ඇයි?

වේදිකා නාට්‍යවලට ඇරියුම් ලැබුණත්, එම ඇරියුම් ලැබෙන අවස්ථාවල වෙනත් ටෙලි නාට්‍යවලට මගේ දින වෙන්කර තිබුණු නිසා, මට ඒවාට සම්බන්ධ වෙන්න නොහැකි වුණා. සිනමා නිර්මාණවලට නම් දායකත්වය ලබා දී තිබෙනවා. කෙහොම වුණත් ක්ෂේත්‍රයට පැමිණි කාලයට සාපේක්ෂව ගත්තහම, මා වැඩියෙන් සම්බන්ධවෙලා තිබෙන්නේ ටෙලි නාට්‍යවලටයි.

පෞද්ගලික ජීවිතයේ තරමක ආඩම්බරකාර චරිතයක් කියන මතයක් තිබෙනවා.

මම බොහොම සාමකාමී විදිහට, ඉතාමත් සුහදව කටයුතු කරන කෙනෙක්. ඒත් ඉතිං තමන්ගෙ පාඩුවේ වැඩ කරද්දි, ඇතැමුන් ඒක අහංකාරකමක් විදිහට දකිනවා.

ඔබගේ රංගන කටයුතු ගැන පවසනවා නම්?

පසුගිය කාලෙ ටෙලි නාට්‍ය පහක පමණ එකදිගට රංගනයට දායක වුණා. එම නිර්මාණ ළගදීම විකාශය වන්නට නියමිතයි. එම නාට්‍ය විකාශය ඇරැඹීමෙන් පසුව, ඒවායේ ඉතිරි කොටස් රූගත කිරීම ඇරැඹෙන තුරු මේ දිනවල විවේක සුවෙන් සිටිනවා.

පෞද්ගලික දිවියේ මෙන් ම කලාව තුළත් ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරි කාලෙ ගැන බලාපොරොත්තු රැසක් තියෙනවා. රඟපෑමට අමතරව අලුතින් යමක් කරන්න අදහසකින් සිටින්නේ. පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත්, මමත්, මගේ බිරියත් කරන රැකියා අනුව, අපි ජීවත් වෙන්නේ රටවල් දෙකක. ඒත්, ඉදිරි කාලයෙ අපේ ලෝකයට දරුමල්ලන් එක්වුණහම, එකම වහළක් යට ජීවත් වෙන්නත් සැලැස්මක් තියෙනවා.

ඔබේත්, ඇගේත් රැකියා කටයුතු නිසා ඇතිව තිබෙන කාර්යබහුලත්වය, පෞද්ගලික දිවියට බලපාන්නෙ කොහොමද?

තේජා කියන්නෙ තමන් කරන දේ හරියට කරන, බුද්ධිමත් කෙනෙක්. ඇය ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම, මගේ වෘත්තිය ඇය තේරුම් අරන් ඉන්නෙ. මගේ රංගන කටයුතු පිළිබඳ මා ළඟින්ම ඉන්න විචාරය කරන්නියත්, විවේචනය කරන්නියත් ඇයයි.

0 comments