Local - සංගීත ක්ෂේත්රයේ යුගයක නිමාවක් - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
ඉපිද මැරෙන, යළි ඉපදෙන අනියත ලෝ දහම පිළිබඳව ගීතයෙන් අප හදවත් මත ලියා තැබූ එතුමා නික්ම යන්නේ ඒ අනියත ලෝ දහමට හිස නමමින් වුව, ඒ නික්ම යාමෙන් හිස්වන ඉඩ කිසිසේත් පුරවාලිය නොහැකි බව සිහිත් කරනුයේ මහත් සංවේගයෙනි.
ඩබ්.ඩී. ඇල්බට් පෙරේරා නම් වූ ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ‘අමරණීය ආත්මයක් ලද දේවයාණන්” යන අරුතින් අමරදේව ලෙසින් නම් කිරීම කොතරම් සාධාරණදැයි එතුමා අප අතරින් සමුගත් මේ ශෝකී මොහොතේ මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
ළමා වියේ සිටම සංගීතය කෙරෙහි බැඳුණු සිතින් සතතාභ්‍යාසයෙන්, අධ්‍යනයෙන් නිරන්තර කැපවීමෙන් තම හැකියාවන් ඔප මට්ටම් කරගත් ආචාර්ය අමරදේවයන් ලාංකේය ජන සංගීතය සහ භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කර ගනිමින් හෙළ සංගීතයට නැවුම් සංගීත සම්ප්‍රදායක් හඳුන්වා දෙන්නට පුරෝගාමීව කටයුතු කළේය. ආචාර්ය අමරදේවයන්ගේ ගැඹුරු, සුගායනීය හඬ සදාතනිකව අප හදවත් ආමන්ත්‍රණය කරනු ඇත. ඒ අර්ථපූර්ණ, රස පූර්ණ ගී මහෝඝය, එතුමන් නිමැවූ සුමධුර ස්වර රචනා අප හෙළ දෙරණ මත සදාකල්හිම රාවප්‍රතිරාව නංවනු නොඅනුමානය.








0 comments