විල්පත්තුව පුළුල් කර වනජීවි කලාපයක් ප්‍රකාශයට පත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුලුල් කර වනජීවී කලාපයක් ප්‍රකාශයට පත්කර ගැසට් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

විල්පත්තුව ආශ්‍රිත වනජීවී දෙපාර්තමේන්තුවට අයතය් නොවන සියලු වන බිම් ද එම කලාපයට ඇතුලත් විය යුතු බවටයි ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම විල්පත්තුව ඇතුලු සියලු වනාන්තර නවීන තාක්ෂණය භාවිත කරවින් ගුවනේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණය කල හැකි වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කලේ.

පරිසර අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

වනාන්තර හෙළි කිරීම්වලට අදාළව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පවතින නීතිය තුල ඇති දඩ මුදල හා සිර දඩුවම පුර්ණ ලෙස ක්‍රියාත්මක කරන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුල සිදුවන වන විනාශයන් පිළිබඳ එල්ලවන චෝදනා පරීක්ෂා කර වාර්තාවක් ලබාදීමට විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් ද යොදවන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

0 comments