බස් රථ වර්ජනයෙන් රට පුරා මගීන් දැඩි අපහසුතාවයේ

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් මේ වනවිට දෛනික සේවා සදහා පැමිණෙන මගීන් සහ පාසල් සිසුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරුවන් සදහන් කළේ ලංගම බස් රථ පමණක් දැනට බොහෝ මාර්ගවල ධාවනය කෙරෙන බවයි.

මහනුවර වාර්තාකරු ආර්.එම්.ආර්.රත්නායක සදහන් කළේ වැඩි මගීන් ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කිරීම සදහා මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත පැමිණෙමින් සිටින බවයි.

එමෙන්ම, අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, අම්පාර ආදී ප්‍රදේශවල ද බස් රථ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර, ත්‍රිකුණාමලය - නුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ඊයේ රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ත්‍රිකුණාමලය පොදු සුසාන භූමිය අසලදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් බස් රථයේ මගීන්ට හානියක් සිදුවී නොමැති අතර, බස් රථයේ ඉදිරිපස වීදුරුවට හානි සිදුව ඇති බව සදහන්.

0 comments