සිරස FM අභිමානවත් 23 වන සංවත්සරය අදයි

නූතන ගුවන් විදුලි කලාවේ මහ ගෙදර, සිරස FM අද සිය 23 වැනි උපන්දිනය සමරයි.

මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් සිරස ගුවන් විදුලිය ආරමභ කෙරුණේ 1994 වසරේ මාර්තු 2 වන දා ය.

1995 වසරේ ජනවාරි 24 වනි දින වන විට මෙරට පැය 24 පුරා විකාශය කෙරෙන ප්‍රථම සිංහල ගුවන් විදුලිය ලෙස ද සිරස FM ගුවන් විදුලි නාලිකාව සටහන් කළේ සුවිශේෂි සංධිස්ථානයකි.

රූපවාහිනිය වටා එක්ව සිටි පිරිස යළි ගුවන් විදුලිය දෙසට යොමු කළ හැරවුම් ලක්ෂය වූයේද සිරස FM ගුවන් විදුලියයි.

ශ්වේත රාත්‍රිය, මියැසි තටාකය, මියැසි අරණ, රම්‍ය තීර්ථය තුළින් රස පූර්ණ හා භාව පූර්ණ ගෘහස්ත ප්‍රසංග කලා‍වේ නව මානයක් මතු කිරීමට ද සිරස FM ගුවන් විදුලියට හැකිවිය.

සූරිය සිරස, දහසක් මල් සහ ලොවින් කැදැල්ල අදට ත් ඔබට සමීප වන්නේ හරවත් සහ අලුත් රසයක් දනවමිනි.

සිරස FM ආරම්භ කළ වසරේ ම එනම් 1994 වසරේ ජනප්‍රියම ගුවන් විදුලියට හිමි සම්මානය වන උන්ඩා ගුවන් විදුලි සම්මාන සිරස FM වෙත පිරිනැමීම ද විශේෂත්වයකි.

සිරස FM ස්ලිම් සම්මාන උළෙලේදී 2006 වසරේ ඛණ්ඩව වසර ගණනක් ජනතාවගේ ගුවන් විදුලි නාලිකාව බවට පත් විය.

සිරස FM මෙරට ගුවන් විදුලි නාලිකාවක් ලෙස සංවිධාන කළ විප්ලවීය ඉසව් බොහොමයක් ඇති අතර ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා සෑදු ලෝකයේ දිග ම කිරි බත එනම් – රජ මහ කිරිබත – ඒ අතරින් ප්‍රමුඛයි.

සද්ධන්ත කුලයේ සිරස ලෙස ලංකාවේ හීලෑ අලි ඇතුන් එක් ස්ථානකට ඒකාරාශී කළ දැවැන්ත සංදර්ශනය තවත් සුවිශේෂී අවස්ථාවකි.

සිරස FM නමින් වරක් උඩවැඩියා මලක් ද නම් කෙරිණ.

ගුවන්විදුලියෙන්
ඔබ්බට යමින් මහජන සේවය වෙනුවෙන් කැපවූ සිරස FM ජනතා සම්මානයෙන් ඉදිරියටත් පෙරමුණේ රැදෙනු නො අනුමාන ය.

සිරස බොහෝ කල් වැජඹේවා!!
 
 

0 comments