කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

දිවයිනේ කාලගුණය පිලිබඳ අවධානය යොමු කිරීමේදී නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහා ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබෙන (විශේෂයෙන් 25 දින සිට) බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ හේතුව නිසා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සමහර ස්ථාන වල (මි.මි. 100 ට වැඩි) තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිරිතදිග මෝසම් තත්වය ඉදිරි දිනවලදී දිවයින හරහාසහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වන ආකාරයක් දක්නට ලැබේ (විශේෂයෙන් 25 දින සිට).මේ හේතුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ.
පුත්තලමසිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක.
සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවිය හැකි නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


0 comments