රුවන්වැල්ලේ තැනෙන ලොව දිගම සැතැපෙන පිළිමය

“මං මුලින් හිටියේ හසලක පන්සලක. ඒ පළාත්වල පන්සල්වල අඩුපාඩු එමටයි. හාමුදුරුවරු හරිම දුෂ්කර ජීවිත ගෙවන්නෙ. කිසිම පහසුකමක් නැහැ. ඒ කාලෙ ඉඳන්ම මගේ හිතේ තිබුණා දුෂ්කර පළාත්වල පන්සල් දියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියා.
* දිග අඩි 80යි. නෙළන්නේ මහා තනි ගල් පර්වතයක
* රජ කාලයෙන් පසු මෙරට ශිල්පීන් අතින් නිමැවෙන විශාලතම නිර්මාණය
* මේ මහා කර්තව්‍යයට ඔබටත් දායක විය හැකියි
ගෞතම බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු වලඳා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පිරිනිවන් පෑ සේක. බුදුරදුන් එදා පිරිනිවන් මංචකයේ සැතපී සිටි අයුරු දිස්වන සැතපෙන පිළිම වහන්සේ බෞද්ධාගම ප්‍රචලිත බොහෝ රටවල දක්නට ලැබෙන උතුම් ආගමික වස්තූන් ලෙස සැලැකේ.
එලෙස ලෝකයේ බෞද්ධ රාජ්‍යයන්හි දිස්වන සැතපෙන පිළිම වහන්සේ අතර තනි කළුගලින් නිමැවූ මහා පරාක්‍රමබාහු රජ සමයේ පොලොන්නරුව ගල් විහාරයේදී ඉදිවූ සැතපෙන පිළිමය විශේෂ තැනක් ගනී. අඩි 46ක් පමණ දිගින් යුත් එම පිළිම වහන්සේ තනි කළුගලින් නිමැවූ ලෝකයේ ලොකුම සැතපෙන පිළිම වහන්සේ ලෙසින් වාර්තා වේ. එහෙත් එම පිළිමයද අබිබවමින් තනි කළුගලින් නිර්මාණය වන ලෝකයේ ලොකුම සැතපෙන පිළිම වහන්සේ ලෙසින් වාර්තාගත වීමට නියමිත පිළිම වහන්සේ නමකගේ වැඩ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතී.
එම සැතපෙන පිළිම වහන්සේ ඉදිවනුයේ රුවන්වැල්ලේ සිට නිට්ටඹුව මාර්ගයේ ගොස් එකේ කණුව හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් තුනහමාරක පමණ දුරක් ගිය තැන හමුවන හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ විහාරයෙහිය.
අඩි 80 ක දිගින් යුත් තනි මහා ගල් පර්වතයක ඉදිවන පිළිම වහන්සේගේ හැඩරුව මේ වන විට මතුකැරගෙන අවසානය. ඉබි ගමනේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින පිළිමය ගැන ඊට මුල් වූ එම විහාරස්ථානයේ නායක තෙරණුවන් වන නාරංගස්තැන්නේ ධම්මකිත්ති නාහිමිපාණෝ මෙසේ වදාළ සේක.
“ඇත්තටම කිව්වොත් මං මෙවැනි දේකට අතගැහුවට මෙය මහා ලොකු කර්තව්‍යයක්. ඒත් මං හිතුවා මුළු සබරගමු පළාතේම නම යන වැඩක් කළ යුතුයි කියලා. අපට තිබුණා මහා ලොකු කලා නිර්මාණවල පෞරාණික ඉතිහාසයක්. ඒ සියල්ල කාලයාගේ ඇවෑමෙන් නැතිවෙලා ගිහින් තියෙන්නෙ. ඒත් මං කොහොමහරි මට පුළුවන් ආකාරයෙන් මුදල් හොයාගෙන මේ දේ කරනවා කියලා හිතාගත්තා. මේ වෙනුවෙන් නිර්මාණ ශිල්පියෙක් සොයාගන්නත් පුදුම දුෂ්කරක් ක්‍රියා කරන්න වුණා.”
එලෙස පැවසූ නායක හිමියෝ ලෝකයටම නම යන මෙවැනි උතුම් නිර්මාණ කටයුත්තකට මුල පිරීමට හේතු වූ කාරණා ද විස්තර කළහ.
“මං මුලින් හිටියේ හසලක පන්සලක. ඒ පළාත්වල පන්සල්වල අඩුපාඩු එමටයි. හාමුදුරුවරු හරිම දුෂ්කර ජීවිත ගෙවන්නෙ. කිසිම පහසුකමක් නැහැ. ඒ කාලෙ ඉඳන්ම මගේ හිතේ තිබුණා දුෂ්කර පළාත්වල පන්සල් දියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි කියා. පස්සෙදි මං 2005 දී වගේ මේ පන්සලට ආවා. ඉතින් මට හිතුණා ලෝකෙටම නම යන වැඩක් කරලා ඉන් ලැබෙන ප්‍රතිලාභවලින් දුෂ්කර පළාත්වල පහසුකම් අඩු පන්සල් දියුණු කරනවා කියලා. එහෙම ඉන්නකොට තමයි මේ ගල් පර්වතයේ මොනවාහරි කළ යුතුයි කියලා හිතුවේ. මුලින් චෛත්‍යයක් හැදුවා. අටවිසි මන්දිරයක් හැදුවා. ඊට පස්සෙ හිතුවා ප්‍රතිමාවක් හදනවා චෛත්‍යය දිහා බලාන ඉන්නවා සේ සමාධියක් විදිහට. හැබැයි ඒකට ලොකු ප්‍රශ්නයක් ආවා ඔය තැනට වැඩිපුර අකුණු ගහන නිසා.
ඊට පස්සෙ ඔහොම එක එක දේවල් හිතා හිතා ඉන්න අවස්ථාවක වැසි දවසක තමයි මට මේ සිතිවිල්ල පහළ වුණේ. ඒ කාලෙ වෙනකොට රම්බඩගල්ලෙ නායක හාමුදුරුවෝ සමාධි පිළිමය හදන්නත් පටන් අරන්. ඒ හාමුදුරුවොත් අපේ නිකාය නායක හාමුදුරුවෝ. උන්වහන්සේ සමාධි පිළිමයක් හදන නිසා මම සැතපෙන පිළිමයක් හදනවා කියලා හිතුවා.
එහෙම හිතාගෙන ඊට පස්සෙ, මං උපදෙස් ගත්තා… ඒත් හරි උපදෙසක් ලැබුණේ නෑ… ශිල්පියෙක් හොයාගන්නත් හරිම දුෂ්කර ක්‍රියා කරන්න වුණා. එතෙන්දි මට ඕනෙ වුණේ මේක විදේශීය ශිල්පියෙක් හරහා කරගැනීම නොව ලංකාවේ අයෙක් ලවාම කරගැනීමටයි. එතකොට මේකේ තියෙන අගය වැඩියි වගේම අපේම රටේ අයගේ නිර්මාණයක් කියලා හැඟීමකුත් එනවානේ”
සැලැසුම් සියල්ල සකස් කිරීමෙන් පසුව කෝටි හතහමාරක පමණ මුදලක් වැයකොට අවුරුදු තුනහමාරකින් පමණ ඉදිකිරීම් අවසන් කිරීමට හැකිවෙතැයි අනුමාන කළේය. ඒ අනුව 2012 ඔක්තෝබර් 29 වැනිදා හුඹස්වලාන පුරාණ විහාරයේ නාමය දසත පතුරවන පිළිම වහන්සේ නෙළීමට මුල පුරා ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ ඊට දායක වන සියලු ශිල්පීන් ශ්‍රී ලාංකිකයන් වීමයි. නිර්මාණශිලී භාරදූර කර්තව්‍යයට අතගසා සිටිනුයේ ගෙලිඔය බී. කේ. ගුණරත්න මහතා ප්‍රමුඛ ශිල්පීන් පිරිසකි. අප ඔහුගෙන් ද මේ ගැන කරුණු විමසුවේය.
“අපි කාලයක සිටම ගල් කැටයම් කලාවේ තමයි නිරත වෙලා ඉන්නෙ. මෙතැන අපේ අය හය-හත් දෙනෙක් හැමදාම වැඩ කරනවා. මේ කාර්යයට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළ සෝමරත්න ඇත්කඳුර සහ කොස්තා කියන මහත්වරු දෙන්නා තමයි ප්‍රධාන ශිල්පීන් ලෙස සියලු වගකීම් දරන්නෙ. සාමාන්‍යයෙන් ගල් වැඩවලදී තියෙනවා මහ බර කියලා එකක්. ඒ කොටස දැන් අයින් කරලා ඉවරයි. පිළිමයේත් හැඩතල මතු කරගෙන අවසන්. දැන් තියෙන වැඩ තමයි වටිනාම වැඩ කොටස. මොකද ඉතාම සියුම්ව කළ යුතු වැඩ. ඒව තනිකරම අතින්, කටුවලින් තමයි කරන්නෙ. නවීන තාක්ෂණය තිබුණට කටුවෙන්, මිටියෙන් කිරීමෙන් තමයි එහි ඉපැරැණි බව ඉස්මතු වන්නෙ.
මේ යන විදිහට අවුරුදු දෙක තුනකින් පමණ වැඩ අවසන් කළ හැකි වෙයි කියා සිතනවා. ලොකු හාමුදුරුවෝ අපමණ වෙහෙසක් ගන්නවා මේ වෙනුවෙන්. සාමාන්‍යයෙන් මේ සඳහා ලොකු මුදලක් යනවා. මොකද මේ වගේ ගල් වැඩ කරන අයගේ ගණන් හිලව් මහ ඉහළයි. ඒත් අපි ඉතින් මුදල් හදල් සමහර වෙලාවට බලන්නෙත් නැතිව වැඩ කරගෙන යනවා. මුලින් වෙඩි දාලා ගල කැඩුවේ. පස්සෙ වැඩි වාසි කැඩුවා කෙමිකල් දාලා. දැන් පිළිමෙට ළඟ නිසා කෙමිකල් දාන්නෙ නැහැ. දැන් තනිකරම ග්‍රයින්ඩර්වලින් කපලා කටුවලින් තමයි වැඩ කරන්නෙ. මේ වැඩේට ඉතින් ගමේ මිනිස්සුත් පුළු-පුළුවන් අයුරෙන් ඇවිල්ලා උදවු කරලා යනවා… ඔය ගල් ඇදලා. ඒ වගේ වැඩ කරලා දෙනවා. අපි මෙතන පඩියකට වැඩ කළත් අපේ අභිප්‍රාය මෙය ලෝකයේ නම යන ප්‍රතිමාවක් කිරීමටයි. මං කියන්නෙ මේ කරන කාර්යභාරය ගැන මීට වඩා රටේ-ලෝකෙ ජනතාවගේ ඇස් යොමු විය යුතුයි. මොකද මේ නිර්මාණය රජ කාලෙන් පස්සෙ ශ්‍රී ලාංකිකයන් අතින් සිදුවන විශිෂ්ට නිර්මාණයක් වෙයි කියා හිතනවා. ඒ නිසා මේ ගැන ඇවිත් හොයලා බලන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”
සියලු වැඩකටයුතු නිර්මාණ ශිල්පීන් අතින් සිදුවූවත් මේ කාර්යයට තිබෙන ලොකුම බාධකය මුදල් හදල්ය.
“මුලින්ම මේ සඳහා ගමේ අය පමණයි උදවු කළේ. දැන්නම් ටික ටික දන්න අයගෙන් උදවු ලැබෙනවා. හැබැයි රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමානම් මේ වෙනුවෙන් බොහෝ උදවු උපකාර කළා. දැන් වෙලා තියෙන ගැටලුව තමයි මං මේ කටයුත්තට පුළු-පුළුවන් විදිහට ජනයාගෙන් පරිත්‍යාග ලබා ගැනීමට ගම් නගර සිසාරා මිනිසුන් යවලා පරිත්‍යාග එකතු කරනවා. ඔවුන්ට ඉතින් නොයෙකුත් මැසිවිලි චෝදනා. මං කියන්නෙ එවැනි චෝදනා කරන අයට, මේ කරන්නෙ බෞද්ධ රටේ උතුම් බෞද්ධ කටයුත්තක්. නැතිව හොර මගඩියක් නෙවෙයි. ඒ නිසා මං සියලු දෙනාටම ආරාධනා කරනවා ඇවිල්ලා හොයලා බලලා යන්න කියලා.”ධම්මකිත්ති හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මේ උතුම් කර්තව්‍යය කන වැකුණු කතෝලික බැතිමතකු වූ ඇන්ටන් වෙල්ගම හුඹස්වලාන විහාරයට ගොස් දින කීපයක් නතරව සිට මේ සඳහා තමාට හැකි පමණින් දායකත්වය ලබා දෙමින් මහත් කාර්යභාරයක් කළ කෙනෙකි. ගීත රචකයකු ලෙස ද නමක් දිනා සිටින ඒ මහතා අප හා පැවැසූ කතාවයි මේ.
“ඇත්තටම මට මේ ගැන දැනගන්න ලැබුණේ ඔබ ආයතනයේම දිනමිණ පුවත්පතේ පුංචි ප්‍රාදේශීය ප්‍රවෘත්තියකින්. ඉතින් මට පුදුම ආසාවක් ඇතිවුණා හාමුදුරුවෝ කරන මේ කාර්යය ගැන. මොකද මං කතෝලිකයෙක් වුණත් එදා බාමියන් බුදු පිළිම කඩපු වෙලාවේ විශාල කම්පනයක් ඇතිවුණා. මං ඒ වෙලාවේ හිතුවා අනේ අපේ රටේ තියෙන මේ මහ විශාල කළුගල්වල ඒ වගේ පිළිම වහන්සේ නෙළන්න පුළුවන්නම් කියලා.
මං ඉතින් හාමුදුරුවන්ට කතා කරලා කිව්වා මට ඔබවහන්සේ කරන දේ ගැන ලොකු පැහැදීමක් තියෙනවා. හැබැයි ඉතින් මට ලොකු සල්ලිය-බාගෙ තියෙන කෙනෙක් නෙවී. මට පුළුවන් ආකාරයෙන් ඔබවහන්සේ කරන කාර්යයට අන්‍යාගාමිකයෙක් වුවත් ඇවිල්ලා උදවු කරන්න ලෑස්තියි කියලා. මොකද මේක මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම කලා කටයුත්තක් ලෙසයි මමනම් දකින්නෙ. ලෝකයේ ලොකුම සැතපෙන පිළිමය තමයි එතැන ඉදිවන්නෙ.
මම මේක දකින්න ගියා. මට හිතුණා මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කරන්නෙ මොන තරම් උතුම් කටයුත්තක්ද කියලා. මගේ ශාස්තෲන් වහන්සේ ජේසුස් වහන්සේ. උන්වහන්සේගේ මඟ ගිය මර්සලින් ජයකොඩි පියතුමා කියපු දෙයක් තමයි ‘බුදු ගුණ ඇසියන් දකින දකින තැන වෙහෙර විහාර පෙනීයන්…‘ ඇත්තටම මමත් ඒ දේ හිතනවා, ප්‍රාර්ථනා කරනවා… මමනම් කියන්නෙ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයාගේ තිබෙන ශිෂ්ටසම්පන්න බව සහ පරිත්‍යාගශීලී බව නිසායි අපේ ආගම ප්‍රචාරය කරමින් මෙතරම් පල්ලි හැදෙන්න ඉඩ ලැබිලා තියෙන්නෙ. ඒ නිසා මම හිතනවා ඒ උත්තරීතර පරාර්ථකාමී මිනිසුන්ගේ දහම වන බුදුදහමේ ශාස්තෲන් වහන්සේගේ උත්තරීතර පිළිම වහන්සේ නෙළීම වෙනුවෙන් අල්ප මාත්‍රයකින් හෝ දායක වීමට හැකිනම් ජාති-ආගම් බේදයකින් තොරව එය මහත් උතුම් කටයුත්තක් කියා. අපේ තියෙනවා තම්මැන්නාව සංස්කෘතික පදනම කියලා එකක්. එහි සභාපති මම. ඒකෙන් කරන්නෙ සංස්කෘතික හා කලා කටයුතු ප්‍රවර්ධන වැඩසටහන්. ඉතින් එදා මාත් සමඟ ඔය පිළිම නිර්මාණය දැකබලාගන්න ගියා අපේ පදනමේ ජූඩ් නික්ලස් කියන ජ්‍යෙෂ්ඨ පියතුමාත්. ඊට පසුව මම ඒ පියතුමා සහ ස්වාමින් වහන්සේ එක්ව සංස්කෘතික අමාත්‍යාංශයට ගොස් මේ කටයුත්ත වෙනුවෙන් ජාත්‍යන්තර සංස්කෘතික මිත්‍රත්ව පදනම කියලා පදනමක් ඇතිකළා. මේ වෙනුවෙන් ජාත්‍යන්තරවද උදවු ලබා ගැනීම සඳහා. අන්න එලෙසින් තමයි මම කතෝලිකයෙක් වුවත් මේ කරන උතුම් කාර්යයට දායක වුණේ. ඒ නිසා මම නැවතත් සියලු ශ්‍රී ලාංකිකයන්ට මේ වෙනුවෙන් එකතු වන්නැයි අන්‍යාගාමිකයෙක් ලෙස ඉල්ලා සිටිනවා. හාමුදුරුවෝ කරන්නෙ මහා ගල්කුළක් බුද්ධාලම්භන ප්‍රීතිය ඔප්නංවන මහා පිළිම වහන්සේ නමක් කිරීමට දරන ප්‍රයත්නයයි. මෙය ඇත්තටම උතුම් කාර්යයක්.”
එදා මහා පරාක්‍රමබාහු රජු දවස ඉදිවූ ගල් විහාරයේ සැතපෙන පිළිම වහන්සේගෙන් පසුව මෙරට තනි කළුගලක ඉදිවන මේ විශාල පිළිම වහන්සේ නෙළීමේ කාර්යයට ඔබටත් දායක විය හැක. ඒ සඳහා 0719990409 අංකයෙන් නාරංගස්තැන්නෙ ධම්මකිත්ති නාහිමියන් ඇමැතිය හැක.
උපුටා ගැනීමකි.

0 comments