සිරුර විකුණා විමුක්තිය සොයන “දෙවියන්ගේ මනාලියෝ“


පාර්වතම්මා දේවදාසියකි. දෙවියන්ටම වෙන් වුණු මෙහෙකාරියකි. ඈ දේවදාසියක් බව ඇගවෙන්නේ ඇගේ ගෙල වටා බැදි රතු හා සුදු පබලු මාලයෙනි. යෙල්ලම්මා දෙවගන වෙනුවෙන් කැප කොට පාර්වතම්මාව දකුණු ඉන්දියාවේ සවුන්දත්ති දෙවොල වෙත භාර දුන්නේ ඇයට වයස අවුරුදු 10 ක් වෙන්නටත් පෙරය. දේවදාසියක් යනු දෙවියන්ට විවාහ කර දුන් අයෙකි. දෙවියන්ව විවාහ කරගෙන ඇති බැවින් ඇයට මනුෂ්‍යයෙකු සමග විවාහ වෙන්නට බැරිය. පාර්වතම්මා වැඩිවිය පැමිණුනු පසුව දේවදාසියන්ට අදාල වන තවත් චාරිත්‍රයක් ක්‍රියාත්මක වීය. ඒ චාරිත්‍රය අනුව පාර්වතම්මාගේ කන්‍යාභාවය ඉහලම ඉල්ලුමට විකුණා දමන්නට සිදු විය. ඒ චාරිත්‍රයෙන් පසු ගැබ් ගත් පාර්වතම්මා වයස අවුරුදු 14ක් වෙන්නටත් පෙරම කුඩා දියණියකගේ මවක් බවට පත් වූවාය.
ඒ උපන් දියණිය හැදි වැඩුණේ පාර්වතම්මාගේ මවගේ නිවසේය. පාර්වතම්මා දියණියගේ වියදමට මුදල් යැවූ මුත් ඇයට දියණියව දකින්නටවත් ලැබුණේ අවුරුදු ගණනකට වතාවක් පමණකි. පාර්වතම්මා HIV ආසාදිත අයෙකු යැයි හදුනා ගනු ලබන විට පාර්වතම්මාට වයස අවුරුදු 26 කි. තව දුරටත් වැඩක් පලක් කරගන්නට බැරි දුර්වල තත්වයකදී ඇය නැවතත් ගමට ගියාය.
දෙවියන්ගේ බිරිදකට HIV ආසාදනය වූයේ කෙසේද.?
අතීතයේ ඉන්දියාවේ ගෞරවනීය චරිතයක් වූ දේවදාසියට වර්තමානයේදී අත්ව ඇත්තේ එවන් ශෝචනීය ඉරණමකි.
“දේවදාසි“ අතීතයේ පටන් ඉන්දියාවේ තිබුණු සංකල්පයකි. “දේවදාසි“ හෝ “දේවරාදියර්“ යනු දෙවියන්ගේ මෙහෙකාරිය යන්නයි. මේ කාන්තාවන් දෙවියන් වෙනුවෙන් කැප කර ඇතැයිද, ඔවුන්ව දෙවියන්ට විවාහ කර දී ඇතැයිද සැලකෙයි. දෙවියන් සමග විවාහ වී සිටින හෙයින් ඔවුන්ට මනුෂ්‍යයෙකු සමග විවාහ වෙන්නට නොහැකිය. එහෙත් තමන්ට අවශ්‍ය පිරිමි සහකරුවෙකු තෝරාගන්නට ඔවුන්ට නිදහස ඇත. ඒ තෝරාගන්නා සහකරුවා විවාහක වුවත්, අවිවාහක වුවත් ගැටලුවක් නැත. මෙසේ ඇති කරගන්නා සබදකම් දිගුකාලීන හා ස්ථාවර ඒවා වුවත්, එසේ නැති නම් තාවකාලික ඒවා වුවත් එහි ඇති වෙනසක්ද නැත. එහෙත් ඔවුන්ට තමන්ගේ යැපීම සදහා ඒ සහකරුවන්ගෙන් මුදල් ලබා ගන්නට නොහැකිය. අතීතයේදී නම් දේවදාසීන් නැටුම්, සංගීතය ඇතුළු කලාවන් හැට හතරක් උගත යුතුය. දේවාල වල නැටුම්ගැයුම් ඉදිරිපත් කරමින් බැතිමතුන්ගෙන් ලබා ගන්නා තුටුපඩුරින්ද, රජවරුන් හා ප්‍රභූවරුන් ඉදිරියේ නැටුම් ඉදිරිපත් කර ඔවුන්ගෙන් ලැබෙන ගම්වර හා රන්කාසි වලින්ද අතීතයේ උන් දේවදාසියෝ යැපුණහ.
ඇතැම් දැරියන්ව ඔවුන්ගේ පවුල් වලින්ම දේවදාසීන් ලෙස දෙවියන්ට කැප කරන ලද අතර, ඇතැම් කාන්තාවෝ තම කැමැත්තෙන්ම දේවදාසීන් වී ජීවිත කාලය පුරාම අවිවාහකව සිටීම තෝරාගත්හ.
මේ දේවදාසි සම්ප්‍රදායේ ඉතිහාසය ක්‍රි.ව. හත් වන සියවස දක්වා දිව යයි. දේවදාසි සංකල්පය වඩාත්ම පැතිර තිබුණේ චෝල, චේල හා පාන්ඩ්‍ය සමයන්හිදි ඉන්දියාවේ දක්ෂිණ පලාත් වලය. අතීතයේදී නම් දේවදාසීන්ට සමාජයෙන් බොහෝ ගරු බුහුමන්ද, සැලකිලිද ලැබුණු අතර ඔවුහු සමාජයේ උසස් තත්වයක් ඇතිව සිටි කොටසක් වූහ.
එහෙත් වර්තමානයේදී නම් දේවදාසීන්ගේ තත්වය මුලුමනින් වෙනස්ය. වර්තමානයේ දේවදාසීන් යනු හුදෙක් ලමා ගණිකාවන් හා ලිංගික ශ්‍රමිකයින් ට කියන තවත් නමක් වැනිය. බොහෝ විට මේ දේවදාසින්ව දේවාල වලට භාර දෙන්නේ වයස අවුරුදු හතරක් හෝ පහක්ව තිබියදීය. බොහෝ විට ඔවුන් දාලිත්ලාය. දාලිත් ලාගෙනුත් මාදිනා සහ වාල්මිකී කුල වලට අයත් වූවෝ වෙති. මේ කුල ඉන්දියාවේ කුල හීනයන් අතරින්ද වඩාත්ම පහත්ම කුල යැයි සැලකෙන කුලයන් වෙයි.
මේ හීන කුල වල කුඩා දැරියන්ව දේවදාසීන් බවට පත් කරනුයේ ඔවුන්ගේම දෙමාපියන් විසිනි. ඒ බොහෝ දේවදාසීන්ගේ පවුල් වල එකම ආදායම් මාර්ගය වනුයේ මේ ළමා දේවදාසියයි. මේ කුල හීන පවුල් වල අයට සාමාන්‍ය කුල වල සිටින මිනිසුන්ගේ ගම්මානයකට පය තබන්නටවත් අවසර නැත. කුල හීනයින්ගේ කොලණි තුල අධ්‍යාපන පහසුකම්ද අවමය. එසේ හෙයින් ඔවුන් අතර අධ්‍යාපනය ලැබූ අය විරලය. එනිසාම ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ගයක්ද නැත. ඔවුන්ට ලබා ගත හැකි රැකියා වනුයේ පාරවල් අතුගෑම, හෝ මල අපද්‍රව්‍ය ඉවත් කිරීම ආදිය පමණකි.
ඒ නිසා මේ කුලහීන දෙමාපියෝ තම දියණියන්ව බලහත්කාරයෙන් දේවදාසීන් බවට පත් කරති. වෙනත් වචන වලින් කිවහොත් තමන්ගේම දියණියන් ගණිකා සේවයේ යොදවන තැරැව්කරුවන් වන්නේ දෙමාපියන්ය.
ඔවුන්ගේ පවුල් කොතරම් විශාල වුවද, දුප්පත් කම නිසාම ඔවුන්ට බොහෝ විට ඇත්තේ මැටියෙන් තැනූ පොල් අතු සෙවිලි කළ මඩු වලට සමාන කුඩා නිවාසයන්ය. බොහෝ විට මුළු නිවසම එක තනි කාමරයක් පමණකි. ඒ නිවස තුළ දේවදාසි දියණියන් තම ගනුදෙණු කරුවාට ලිංගික සේවා සපයා මුදල් උපයා ගන්නා තුරු දෙමාපියෝ නිවසින් පිටතට වී කල් මරති.
ඉතා කුඩා වයසේදීම දේවදාසියන් බවට පත් කර දේවාලයට භාර දෙන මේ දේවදාසියන්ට මූලික අධ්‍යාපනයක්වත් නොලැබෙන තරම්ය. කුඩා කලදීම ඔවුන්ව තම දෙමාපිය සෙවණින් වෙන් කර දෙවොල් බිමෙහි තනිව ජීවත් වෙන්නට හුරු කරනු ලබයි. මේ දේවදාසීන් වැඩිවිය පැමිණුන වහා ඔවුන්ගේ දෙමාපියෝ ඒ ගැන තම සමාජයේ අයව දැනුවත් කරති. මේ දැනුවත් කිරීම හරහා ඒ දේවදාසියව “ලබා ගැනීමට“ ධනවත් ඉඩම් හිමියෙකු කැමති කරවා ගත හැකි වී නම් ඒ ඇගේත් ඇගේ මුලු පවුලේත් වාසනාවය. ඉඩම් හිමියා ඇගේ කන්‍යාභාවය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ගෙවයි. ඉන් පසු ඇයව ලිංගික මෙවලමක් ලෙස භාවිතා කරන කාලය පුරාවටම ඇයටත් ඇගේ පවුලේ අයටත් ප්‍රමාණවත් මුදලක්ද ගෙවයි. කන්‍යාභාවය සහිත ලාබාල දේවදාසියන්ට ඉහල ඉල්ලුමක් ඇති අතර ඔවුන්ට කෙරෙන ගෙවීමද ඉහලය.
ඉන්දියාවට නිදහස ලැබෙන්නට පෙරත් ඉන් පසුවත් ඉන්දියානු රජය විසින් නොයෙක් වර දේවදාසි සම්ප්‍රදාය තහනම් කරමින් නීති රීති ගෙන එන ලදී. ඉන්දියාව තුල දේවදාසින් ලෙස කුඩා දරුවන්ව යොදවා ගැනීම තහනම් කොට ඇත්තේ මීට අවුරුදු විස්සකට පෙර සිටය.
එහෙත් අදටත් ඉන්දියාවේ දේවදාසීන්ගේ අඩුවක් නම් නැත. දේවදාසීන් පිලිබද කතා බහ මතුපිටට ආ ආසන්නතම සිද්ධිය වනුයේ පසුගිය දා තමිල්නාඩුවෙන් මතුවී ළමා දේවදාසීන් පිළිබද සිදුවීමයි.
ඒ කුඩා දැරියන්ව මාතම්මා නම් දෙවගනට කැප කරන ලද දේවදාසීන් ලෙස නම් කර ඔවුන්ව මනාලියන් ලෙස හැඩ ගන්වා දෙවොලට ගෙන යනු ලැබෙයි. ඉන් පසුව දෙවොලේ පිරිමි පූජකයින් විසින් ඔවුන්ව නිරුවත් කරනු ලබයි. එතැන් සිට ඔවුන් සිටිය යුත්තේ උඩුකය නිරුවතිනි. එදින සිට ඔවුන් පොදු දේපොලක් බවට පත් වෙයි. ඔවුන්ගේ පවුල් වලින් හා අධ්‍යාපනයෙන් වෙන් කර වැඩිහිටි පිරිමි පූජකයින් භාරයේ අනාරක්ෂිතව තබන මේ ළමා දේවදාසීන්ව නිරන්තරයෙන්ම ලිංගික අතවර වලට ලක් වී තිබිණ. මේ සිදුවීම හේතු කොට ගෙන නීතියෙන් තහනම් කරන ලද දේවදාසි සංකල්පයට නැවත නිදහස ලබා දීම මත තමිල්නාඩුවටත් ආන්ද්‍රා ප්‍රදේශ් වලටත් ජාතික මානව හිමිකම් කොමිසමෙන් චෝදනා නැගී තිබිණ.
ජාතික මානව හිමිකම් කොමිසමේ දත්ත වලට අනුව 2013 වසරේදී ඉන්දියාව තුළ උන් දේවදාසීන් සංඛ්‍යාව 450,000 ඉක්මවා තිබිණ. විනිසුරු රගුනාත් රාවෝ ප්‍රමුඛ තවත් කොමිසමක් ප්‍රකාශ කරන අන්දමට ආන්ද්‍රා ප්‍රදේශ් හා තෙලන්ගානා වල පමණක් දේවදාසීන් සංඛ්‍යාව 80,000 ක් පමණ වෙයි.
නීතියෙන් කොතරම් දැඩිව තහනම් කොට තිබුණත් නීති වලින් පමණක් දේවදාසීන් බිහිවීම නැවැත්විය නොහැකිය. කුල භේදය අත් හැර සෑම මිනිසෙකුටම මනුෂ්‍යත්වයෙන් සලකන්නට සමාජය හැඩ ගැසෙන තුරු, කුල හීන ජනතාවටද අධ්‍යාපනය ලබන්නට අයිතිය හිමි වන තුරු සහ ඒ මිනිසුන්ගේ අධික දරිද්‍රතාවයට විසදුම් සපයන තුරු ඉන්දියානු සමාජය තුල දිගින් දිගටම දේවදාසීන් බිහිවනු ඇත.

නිම්මි මුදිතා හේරත්
දිවයින 05.12.2017

0 comments