යන කෙනෙකු යලි නොඑන කැන්සාස් මානසික රෝහල

හිංසනය, කෲරත්වය, අවාසනාව කැටි කරගත් බියකරු ස්ථාන ලෝකයේ බොහෝ ඇත. කැන්සාස් ප්‍රාන්තයේ ටොපිකා ප්‍රාන්ත රෝහල එවන් එක් බියකරු ස්ථානයකි.
ටොපිකා ප්‍රාන්ත රෝහල එහි නිල නාමය වුවද මිනිසුන් අතරේ එය ප්‍රසිද්ධව තිබුනේ ටොපිකා පිස්සන් කොටුව යන නමිනි. ස්වභාවිකව මෙන්ම අපරාධ වලින් උමතු බවට පත් වූ උමතු රෝගින්ට මේ රෝහලේ දොර පළමුවෙන් විවර වූයේ 1872 දීය. එදා දොර ඇරුණු දා පටන් වසර සියයක පමණ කාලයක් තුල ඒ දොරින් පිටතට ආවේ රෝගීන්ට අමානුෂික වධ හිංසා දෙන, රෝගීන්ව අපයෝජනයට ලක් කෙරෙන, මරා දමන වධකාගාරයක පුවත්ය. අවසානයේදී 1997 අවුරුද්දේදී මේ රෝහල සදහටම වසා දමන ලද්දේ එහි අපයෝජනයන් හේතුවෙන් හා එහි සිටින අධික රෝගීන් සංඛ්‍යාවට ඉඩකඩ මදි වීම හේතුවෙනි.
රෝහල විවෘතව තිබුණු කාලය පුරාම රෝහල ගැන ප්‍රසිද්ධව තිබුණු කතා යහපත් ඒවා නොවේ. එහි සිටින රෝගීන් බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම, මන්දමානසිකයින්ට
ප්‍රතිකාර ලෙසින් ලිංග ඡේදනය හා පීඩාකාරී ද්‍රව චිකිත්සාව යොදා ගැනීම, වැනි සිදුවීම් හේතුවෙන් මෙම රෝහල මිනිසුන් අතර කතාවට ලක් විය. රෝගීන්ව දරුණු ලෙස නොසලකා හැරීම, රෝගීන්ව ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කිරීම, හා රෝගීන්ට පහර දීම ගැන මේ රෝහලෙන් වාර්තා වුනු අවස්ථාවන්ද බොහෝය.
වඩාත් පුදුම එලවන සුලු කාරණය වූයේ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් රෝගීන්ට කළ මේ දාමරික කම් වලට එරෙහිව බාහිර සමාජයෙන් එල්ලවූ විරෝධ වලින් පලක් නොවීමයි. එසේ වූයේ සෑම විටම මේ රෝහල් කාර්ය මණ්ඩලය කැන්සාස් ප්‍රාන්ත රජය විසින් ආරක්ෂා කරන ලද බැවිනි.
වර්තමානය වන විට මේ උන්මත්තක රෝහලේ පැරණි සාධක කිසිවක් ඉතිරිව නැත. හිංසනයට ලක්ව ජීවිතක්ෂයට පත් වුණු රෝගීන්ගේ අවතාර මේ රෝහල් ගොඩනැගිල්ලේ සැරිසරතියි පැතිර ගිය මතය හේතුවෙන් 2010 අවුරුද්දේදී රෝහල් ගොඩනැගිලි සියල්ල මුලුමනින් පොලවට සමතලා කරන ලදී. රෝහල් කාර්ය මණ්ඩලයද හැකිතාක් දුරින් පිහිටි ස්ථාන වලට මාරු කර යවන ලදී. රෝහලක් තබා එහි කිසිම ගොඩනැගිල්ලක් තිබූ බවවත් සොයා ගන්නට නොහැකි අයුරින් සලකුණක්වත් නොතබා රෝහල ඉවත් කරන්නට කටයුතු යොදන ලදී.
එකල පුවත් පත් වල නිරන්තරයෙන් පලවූ වාර්තා අනුව ටොපිකා ප්‍රාන්ත රෝහලේ සිදුවුණු බිහිසුණු සිදුවීම් කිහිපයක මතක අදටත් මිනිසුන් අතර ඇත.
මේ රෝහල ගැන එකල පුවත්පත් වල වාර්තා වුණු එක් සිදුවීමක් මෙසේය.
“ඩොඞ්“ මේ ටොපිකා මානසික රෝහලේ ප්‍රතිකාර සදහා නේවාසික වුණු එක් රෝගියෙකි. රෝහලේ උන් සාත්තු සේවකයෙක් ඩොඞ්ට නිරන්තරව අමානුෂික ලෙස පහර දුන් අයුරු බොහෝ රෝගීන් දැක ඇත. ඩොඞ්ට බිම වැටෙනතුරු පහර දෙන සාත්තු සේවකයා බිම වැටුණු ඩොඞ්ගේ පපුව මත නැගී දෙපයින් පාගයි. ඇතැම් විටක ගෙලද මිරිකයි. එක් දිනක් මෙසේ ඩොඞ්ට පහර දී බිම දැමූ සාත්තු සේවකයා ඩොඞ්ව බිම දිගේ ඇදගෙන රෝහලේ කාමර අංක 18 වෙත ගෙන ගොස් තිබේ. ඩොඞ්ව ගෙන ගිය පසු කාමර අංක 18 හි දොර අගුල් දමන හඩත්, ඉන් පසු කාමරය තුළ පොර බදන හඩත්, අවසානයේ දුර්වල කෙදිරිලි හඩකුත් ඇසී ඇත.
අවසානයේ කාමරයෙන් පිටතට ඇදගෙන ආවේ ඩොඞ්ගේ පණ සුන් සිරුරය.
ඩොඞ්ගේ මිනීමැරුම පිළිබදව සාත්තු සේවකයාට එරෙහිව නීතියෙන් ක්‍රියා කරන්නට ප්‍රදේශයේ නීතිවේදීන් උත්සාහ කල නමුදු මේ සිදුවීම ගැන පරීක්ෂන පවත්වනවාට කැන්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා දැඩි විරෝධයක් දක්වා ඇත. ප්‍රාන්ත රජයේ මැදිහත් වීම මත සාත්තු සේවකයාට එරෙහි නඩුව නිශ්ප්‍රභ විය.
1896 දී ටොපිකා මානසික රෝහල වෙත ගෙන ගිය මහලු සොල්දාදුවන් පිරිසක් රෝහල තුලදීම සමූහ ඝාතනයට ලක්වී තිබිණ. එය කතා බහට ලක් විය යුතු කාරණයක් වුවද මේ සිදුවීම මුලු මනින්ම මාධ්‍යයෙන් වසන් කොට තිබිණ.
1911 වසන්ත කාලය වන විට ටොපිකා මානසික රෝහලට එරෙහි පැමිණිලි බොහෝ සෙයින් වැඩි වෙන්නට විය. මේ පිලිබද සොයා බැලීමක් කරන්නට රජයට බල කෙරෙන්නට විය. ඇතැම් පැමිණිලි රෝහලේ හිටපු කාර්ය මණ්ඩලය විසින්ම ඉදිරිපත් කරන ලද ඒවා විය.
ප්‍රාන්ත පුවත්පතක එසේ පැමිණිලි කරන ලද එක් ලිපියක කොටසක් දක්වා තිබිණ.
“ඊ 2 වාට්ටුවේ උන් රෝගියෙකු වූ ජෝන් ග්‍රීන් දැඩි ලෙස රෝගාතුරව දින අටක් සයනයේ දුක් විද මියගියේය. මේ දින අටක කාලය තුල ඔහුට කිසිදු බෙහෙතක් තබා කෑමක් බීමක්වත් ලබා දුන්නේ නැත. සෑම උදෑසනකම ඔහුගේ රෝගී තත්වය වාර්තා කරන ලද මුත් ඒ පිලිබදව කිසිදු පියවරක් ගත්තේ නැත.
ජෝන් ග්‍රීන් මිය ගිය පසුව ඔහුගේ මල සිරුර විච්ඡේදන කාමරයකට ගෙන ගොස් ඔහුගේ මොලය ඉවත් කරගන්නා ලදී. පසුදින වෛද්‍ය ටී. සී බිඞ්ල් විසින් ඔහුගේ ශිෂ්‍යයන්ට පාඩමක් කියා දෙන්නට අභ්‍යාස කටයුතු වලට යොදා ගන්නා ලද්දේ ජෝන් ග්‍රීන්ගේ ඥාතීන්ට දැනුම් දෙන්නේවත් නැතිවය. වෛද්‍ය බිඞ්ල්ගේ සිසුන් හට මිනිස් මොලය පිලිබදව ආදර්ශනයක් ලෙස සංකූල වූ මිනිස් මොලයක් උවමනා වී තිබුණු අතර ජෝන් ග්‍රීන්ව කුසගින්නේ තබා මැරුවේ ඔහුගේ මොලය ලබා ගැනීම සදහා බව සහායක රොබර්ට්ස් හා ජොන්සන් හොදින් දැන සිටියහ.“
ටොපිකා ප්‍රාන්ත රෝහලට ඇතුලු වන රෝගීන් ඉන් පසු කිසිදාක පිටත ලෝකයට දකින්නට ලැබී නැත. ඥාතීන්ට මෙහි රදවන රෝගීන්ව බලන්නට ඒම සපුරා තහනම්ය. එනිසා යමෙකුට අනවශ්‍ය ඥාතියෙකු අමතක කර දමන්නට මෙය අපූරු තැනක් විය. රෝහලේ වාට්ටු විසි නවයක් තිබුණු අතර බාහිර පුද්ගලයින් හට බලන්නට අවසර තිබුණේ එයින් වාට්ටු හතරක රෝගීන් පමණකි. එයට හේතුව ලෙසින් රෝහලේ පරික්ෂකවරයා වූ වෛද්‍ය බිඞ්ල් පවසා තිබුනේ බාහිර පුද්ගලයින් විසින් රෝගීන්ගේ ප්‍රතිකාර වලට බාධා පමුණුවන බැවින් බාහිර පුද්ගලයින්ට රෝහල තහනම් කළ බවයි.
කෙසේ වෙතත් මෙම රෝහල සදහා ප්‍රාන්ත රජයෙන් වෙන් කළ මුදල් වලින් සෑහීමට පත් නොවුනු රෝහල් බලධාරීන් විසින් මෙහි ගෙන එන රෝගීන්ගේ භාරකරුවන්ගෙන් ඒ රෝගීන් වෙනුවෙන් අති විශාල මුදලක් අය කරගන්නටත් කටයුතු කරනු ලැබ තිබිණ.
ටොපිකා ප්‍රාන්ත රෝහල තුල සිදුවුණු මේ හිංසනයන්ට එරෙහිව කිසිදු පුද්ගලයෙකු කතා නොකලා යැයි කිවහොත් එය නිවැරදි නැත. නීතිවේදීන් බොහෝ සංඛ්‍යාවක් මේ හිංසනයට එරෙහිව කතා කරන්නට උත්සාහ ගත් නමුත් ඔවුන්ට එල්ල වුණු බාධක බොහෝ විය. හැන්සන් මහතා ටොපිකා රෝහලේ හිංසනයට ලක් වෙන රෝගීන් නිදහස් කරගන්නට බොහෝ සෙයින් උත්සාහ කළ නීත්‍යඥයෙකි. ඔහුගේ සියලුම ප්‍රයත්නයන් අසාර්ථක වූ අතර ඔහු විසින් නිදහස් කරගන්නට තැත් කල රෝගීන්ව පරීක්ෂණයක් නොකරම නැවතත් රෝහල භාරයට ගැනිණ. අවසානයේදී “ටොපිකා රෝහලේ කාර්යමණ්ඩලයේ රාජකාරියට බාධා කිරීම හා රෝගීන්ට හිරිහැර කිරීමේ වරද“ට හැන්සන්ට එරෙහිව නඩු පවරන ලදී.
1916 අවුරුද්දේ වාර්තා වලට අනුව කැන්සාස් ප්‍රාන්තය තුළ උන්මත්තක භාවය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් ඇත. ප්‍රාන්තයේ වාර්තාගත මුලු උන්මත්තක රෝගීන් සංඛ්‍යාව 4,311 ක් වූ අතර එයින් 1565ක්ම ටොපිකා ප්‍රාන්ත රෝහල වෙත යොමු කොට ඇත.
යමෙකු උන්මත්තකයෙකු ලෙස නම් කොට මේ රෝහලට ගාල් කිරීමද එකල ජයටම කෙරුනු ජාවාරමක් වීය. එලෙසින් උන්මත්තකයෙකු ලෙස නම් කරන රෝගියා සතු දේපල ප්‍රාන්ත රජයට පවරා ගැනීම එකල සිදු විය.
1918 වසරේ එවන් එක් දේපල පිලිබද හද කම්පා කරවන නඩුවක් ඇති විය. උන්මත්තකයෙකු ලෙස නම් කර ටොපිකා මානසික රෝහල වෙත එවනු ලැබූ එක් ස්වදේශීය ඇමරිකානු හෙවත් රතු ඉන්දියානු කාන්තාවක වූවාය. ඇයට උන්මත්තකයෙකු ලෙස නම් වෙන්නට සිදු වූයේ ඔක්ලහෝමා වල ඇය සතුව තිබුණු අති විශාල වතුයායක් හේතුවෙනි. කැන්සාස් ප්‍රාන්ත රජයට ඇගේ වතුයාය උවමනා වී තිබීමේ ප්‍රතිපලයක් ලෙස මේ ස්වදේශ ඇමරිකානු කාන්තාවට නිරපරාදේ උන්මත්තිකාවක ලෙස හංවඩු ගැසී ටොපිකා මානසික රෝහල් වධකාගාරයට ගාල් වෙන්නට සිදු විය. ඇගේ වතුයායේ භාරකාරත්වය ඇය විසින් පවරා තිබුණේ ඇගේ ඥාතියෙකුටය. එහෙත් මේ කාන්තාවයේ “යහපත සදහා යෙදවීමට“ යැයි කියා කැන්සාස් ප්‍රාන්ත රජය විසින් ඇගේ වතුයාය රජයට පවරා ගන්නා ලදී. අවසානයේදී වතුයායේ භාරකාරත්වය තිබුනු ඥාතියාද කාන්තාවගේ දේපල කොල්ල කන්නට ආ හොරෙකු ලෙස හංවඩු ගසමින් අවමානයට ලක් කරන ලදී.
මෙලෙසින් අසාධාරණයටත් හිංසනයටත් තෝතැන්නක්ව තිබුණු ටොපිකා මානසික රෝහල 1997 දී සදහටම වසා දමනු ලැබිණ. අදටත් එහි නමක් ගමක් සදහන් නොවන නාදුනන රෝගීන්ගේ සොහොන්කොත් 1157 ක් ඇත.

නිම්මි මුදිතා හේරත්
ඉරිදා දිවයින 04.06.2017

0 comments