ආධ්‍යාත්මික පැත්තෙන් ජීවිතය තේරුම් අරගෙන කරන්න ඕන මම අත්හැරීම ටික ටික ඉගෙන ගන්නවා තනූජාට ජීවිතය කලකිරිලද…?


තනූජා ජයවර්ධන කියූ සැණින් අපේ මතකයට නැගෙන්නේ ‘රස රිසි ගී’ වැඩසටහනයි. ඇගේ දක්ෂතාව නිසාම තම වෘත්තීය ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යන්න ඇයට හැකියාව ලැබෙනවා. වසර ගණනාවක් සේවය කළ සිරස ආයතනයේ ඉවත්වීම ගැන හැමෝටම තියෙන්නේ කුතුහලයක්. ඒ නිසාම මෙවර කතාබහට ඇයව එකතුකර ගත්තා.
මොනවද මේ දවස්වල වැඩකටයුතු?
මට, මම වෙනුවෙන් වෙලාව අරගෙන නිදහසේ ඉන්නවා.
හිටි හැටියේම ඇයි මහරාජා ආයතනයෙන් ඉවත් වෙන්න තීරණය කළේ?
හිටි හැටියේ ගත්ත තීරණයක් ‍නෙවෙයි. අවුරුදු එකහමාරක් තිස්සේ හිතලා ගත්තු තීරණයක් තමයි මේ. දෙසැම්බර් මාසයේ කොහොමත් මම මේ තීරණේ ගන්න හිටයේ. මේ තමයි වෙලාව කියලා හිතුණ නිසා මම ඒ තීරණේ ගත්තා. අනිත් අයට ඒ තීරණේ හදිසි වුණාට මගේ පැත්තෙන් හොඳට හිතලා බලලා මට ආදරය කරන අයත් එක්ක කතාබහ කරලා අවුරුදු 19කට පස්සේ ‍පොඩි වෙනසකටත් එක්කයි මේ තීරණේ ගත්තේ.
දුකක් දැනුණේ නැද්ද?
ඒක එකපාරටම ගත්තා නම් දුක හිතේවි. ‍පොඩි දුකක් හිතේ තිබුණා. මම ඉල්ලා අස්වීමේ ලිපිය දුන්නට පස්සේ මට සභාපති එක්ක රැස්වීමක් තිබුණා. ඒ අයටත් දුකයි, මටත් දුකයි. මොනවා කරන්නද, ආයතනයෙන් සමුගත්තට ඒ සම්බන්ධතා තියෙනවා.
වෙනත් ආයතනයකට සම්බන්ධ වෙන්නද මෙවැනි තීරණයක් ගත්තේ?
එහෙම තීරණයක් අරගෙන නැහැ. එහෙම අදහසක් තියෙනවා නම් මම මුලින්ම කියන්නේ පත්තරේට. 2017 වර්ෂය මෙහෙම ගෙවන්න තමයි මගේ බලා‍පොරොත්තුව. දැනට එහෙම සැලසුමක් නැහැ.
වසර 19ක් තිස්සේ ඔබ සේවය කළ ආයතනයෙන් ඉවත් වීම මොන විදිහටද ඔබට දැනෙන්නේ?
මම මහරාජා ආයතනයෙන් ඉවත්වුණේ හිත හොඳින් මිසක් හිත් අමනාපකමෙන් ‍නෙවෙයි. ගොසිප් වබේ සයිට්වලින් විවිධ විදිහට ඒ ගැන අර්ථකථනය කරලා තිබුණා.
කොහොමද මේ දවස්වල කාලය ගතවෙන්නේ?
මම අලුත් ගෙයක් ගත්තා. ඒ වැඩවලට කාලය යොදවනවා. ඊට අමතරව මට ලංකාව වටේ ඇවිදින්න ඕන. කියවන්න ‍පොත් ටිකක් තියෙනවා. ඒ ‍පොත් කියවනවා. යාළුවෝ හම්බවෙලා, පවු‍ලේ අයත් එක්ක තමයි මේ දවස්වල කාලය ගතවෙන්නේ.
ළඟදි විවාහ වෙන්න අදහසක් තියෙනවාද?
එහෙම අදහසක් නැහැ. එහෙම වුණත් රැකියාවෙන් ඉවත්විය යුතු නැහැ. මම කැමති දේවලට අකමැති කෙනෙක් එක්ක කොහොමටත් මම විවාහ වෙන්නේ නැහැ. රස්සාවෙන් ඉවත් වුණත් මාධ්‍යයෙන් ඉවත් වෙන්නේ නැහැ. මම නැතිවුණ දවසට තමයි මාධ්‍ය මගින් අයින් වෙන්නේ.
ජනප්‍රියත්වය නිසා නිදහස සීමාවුණු අවස්ථා ඇති නේද?
එහෙම නිදහස සීමාවෙලා තියෙනවා. හැබැයි මම කවදාවත් ඒක කරදරයක් විදිහට හිතන්නේ නැහැ. මම යම් වෙනසක් ටෙලිවිෂනය හරහා කළා නම් ඒ වෙනස සමාජය පිළි අරගෙන තියෙනවා නම් ඒ ජනප්‍රියත්වයට මම කැමතියි. ලංකාවේ කිසිම වෙලාවක ජනප්‍රියත්වය අඩුකරගන්නෙ නැතුව ස්ථාවරව පවත්වාගෙන එන්නයි මට ඕන වුණේ. ඒක විනයක් ඇතුව මම කළේ. අදටත් බොහොම ගෞරවනීය විදිහට එම ජනප්‍රියත්වය තියෙනවා. හැම තැනින්ම ඒ ආදරය මට ලැබෙනවා. එහෙම ආදරයක් ලැබෙන එක හරි පිනක්. කෝටි දෙකකින්වත් හැමෝටම ගන්න බැහැ.
එදා රස රිසි ගී ඉදිරිපත් කළ තනූජාට ලැබුණු ප්‍රතිචාරය තාමත් ඒ වගේද?
ඔව්. රස රිසි ගී කියන්නේ සරල සංගීත වැඩසටහනක්. එය ලංකාවේ ඉදිරිපත් කිරීම් කලාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඊට පසුව මම නොයෙකුත් වැඩසටහන් ඉදිරිපත් කළා. ප්‍රවෘත්ති නිවේදිකාවක් වුණා. අන්තිමට සිරස සුපර් ස්ටාර් වේදිකාවේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මම කළමනාකරණයට සම්බන්ධ වුණා. ඒ දේ මම හිතන්නේ කිසිම වෙලාවක ජනප්‍රියත්වය අඩු කරගන්නෙ නැතුව ස්ථාවරව පවත්වාගෙන එන්නයි මට ඕන වුණේ. ඒක විනයක් ඇතුව මම කළේ. අදටත් බොහොම ගෞරවනීය විදිහට එම ජනප්‍රියත්වය තියෙනවා.
ව්‍යාපාර පැත්තටවත් යොමුවෙන්න බලා‍පොරොත්තුවක් තියෙනවාද?
නැහැ. මට බිස්නස් කරන්න බැහැ.
‍ලේඛිකාවක් වෙන්න කැමැත්තක් නැද්ද?
ලියන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. බලමු, ඉස්සරහට ‍පොඩි සැලැස්මක් තියෙනවා.
මොනවද අනාගත බලා‍පොරොත්තු?
ගොඩක් දේවල් මේ වෙනකොට ඉටු කරගෙන ඉවරයි. ආධ්‍යාත්මික පැත්තෙන් ජීවිතය තේරුම් අරගෙන කරන්න ඕන. ඒ දේට කාලය වැයවෙනවා. මම ජීවිතේ කලකිරිලා නැහැ. බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරන කෙනෙක් විදිහට අපිට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ප්‍රගුණ කරගෙන තියෙනවා. අත්හැරීම මම ටික ටික ඉගෙන ගන්නවා. ඒ වගේම මගේ ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා මේ රටේ කාන්තාවන්ට, දරුවන්ට මොනවා හරි සේවාවක් කරන්න.
දේශපාලනයට එන්නවත් අදහසක් තියෙනවාද?
දේශපාලනය නොකර මිනිස්සුන්ට උදව් කරන විධි ලෝකයේ ගොඩක් තියෙනවා.
ඔබ රසිකයෙක් වෙලා ඉන්නේ කාගේද?
මායා ඇන්ජෝ කියන කළු ජාතික කිවිඳියගේ මම රසිකයෙක්. ශාරුක් ඛාන්, මයිකල් ජැක්සන්ට ආසයි. ලංකාවේ හැම කලාකාරයෙක්ටම කැමතියි. ඒ වගේම ලියනගේ අමරකීර්තිගේ මම හොඳ රසිකයෙක්.
ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගියේ රූපවාහිනිය හරහා. ඔබ රූපවාහිනිය නරඹනවාද?
මම රූපවාහිනියෙන් තමයි ආවේ. ඒත් මම ගියා කියලා දැනගත්තේ ඔන්ලයින්. ඇත්තටම මම රූපවාහිනිය බලන්නේ නැහැ. මම සියලුම දේවල් බලන්නේ තොරතුරු ගන්නේ ඔන්ලයින්. ඒක තමයි අනාගත මාධ්‍යය. බොහෝවිට වෙනසක් වෙන්නේ ඒ හරහා. අද තරුණ තරුණියන්ගෙනුත් රූපවාහිනිය ගොඩක් ඈත්වෙලා තියෙන්නේ.
තිළිණි කරුණාරත්න

0 comments