මියගිය දළ පුට්ටුවාගේ අභිරහස් ඝාතකයන් ඇල්ලු විශ්මිත මෙහෙයුම මෙන්න
ඇත්දළ දෙකක් හා ගජමුතු හයක් විකුණන්නට තිබෙන බව වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබෙන්නේය.
එම තොරතුරට අනුව ඒ වන විටත් එම ප්‍රදේශයේ වෙනත් වැටලීමකට ගොස් සිටි උප පොලිස් පරීක්ෂක සරත් ධර්මසිරි ඇතුළු කණ්ඩායමට එම ප්‍රදේශයට යන්නට උපදෙස් දී ඔත්තුකරු සමග සම්බන්ධ වීමට තවත් කණ්ඩායමක් පිටත් කරන්නේය.
මෙම 23 දා වන පොලිස් කොස්තාපල් ජයලාල් (428) හා සදීෂ් (76176) වහාම වෑන් රථයකින් පිටත්ව යන්නේ සහකාර ජ්‍යෙෂ්ඨ අධිකාරී හේමාල් ප්රෂාන්තගේ උපදෙස් මතය.
අතරමගදීම ඔත්තුකරු සමග එන මොහොමඩ් නමැති ගනුදෙනුවට සම්බන්ධ අයකු මෙම පිරිස පොලිසියේ උපායදූතයන් බව නොදැන ගනුදෙනුව කතා කරන්නේය.
“ඇත්දළ ජොඩුවයි, ගජමුතුයි ලක්ෂ විසිඑකක් කියනවා. බඩු ටික තියෙන්නේ ටිකක් දුරින්. ඔයාලා සාලියවැව සතිපොළ හන්දියේ ඉන්න. මම වැඩේ කතා කරගෙන එන්නම්” කියා මොහොමඩ් පිටත් වන්නේය.
ගනුදෙනුව ඒ මොහොතේම සිදුකරගත හැකි බව ඔත්තුකරු සනාථ කළෙන් උප පොලිස් පරීක්ෂක ධර්මසිරි සමග ගිය සැරයන් ජයරත්න (42520), කොස්තාපල්වරුන් වන කීර්ති (83790) සඳරුවන් (70704), තේනුවර (30848), ජයසිංහ (75453), මධුෂංක (79548), කුලතුංග (84609), පොලිස් රියැදුරු අජිත් (11919), මධුශංක (85150) යන කණ්ඩායම වලාන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් ධර්මසිරිගේ නියෝග මත පිටත්ව යන්නේය.
සතිපොළ අසල රැඳී සිටි ජයලාල් හා සදීෂ් හමුවට යතුරපැදිකරු වූ මොහොමඩ් එන්නේ පසුපසින් මෝටර් රථයක්ද කැඳවාගෙනය.
“කාර් එකට එක්කෙනකුට විතරක් නැගලා යන්න පුළුවන්. ගිහිල්ලා බඩු ටික බලලා එන්න පුළුවන්” යැයි තොරතුරුකරුට ඇත්දළ ජාවාරම්කරුවන් අතරමගදීම දන්වා සිටියේ ය.
ඒ අනුව මොහොමඩ් පසුපසින් එන මෝටර් රථයට කොස්තාපල් ජයලාල් නගින්නේ ගනුදෙනුව කතා කරන්නට යන්නටය. මීටර් හත්සිය පනහක් පමණ ඉදිරියට ගිය මෝටර් රථය එකවරම කැලෑවකට හරවා ගොස් කැලෑවක් අස්සේ නවත්වන්නේය. මෝටර් රථය පදවාගෙන ආ පුද්ගලයා වාහනයෙන් බැස ඩිකිය ඇර ඇත්දළ ජෝඩුව පෙන්වන්නේ නොසිතූ මොහොතකය.
“ඔයාලා කැමැති නම් දැන්ම ගනුදෙනුව කරන්න පුළුවන්” යැයි මෝටර් රථයේ ආ පුද්ගලයා සඳහන් කළේ ය. මෝටර් රථයේ පැමිණ ගනුදෙනුව කතා කරන්නේ හේනේගම ග්‍රාම සේවක අසංක රාජපක්ෂ නමැත්තාය.
“බඩු චෙක් කරලා ගනුදෙනුව කතා කරමු” යැයි කියූ ජයලාල් යළි මෝටර් රථයට නැගගත් පසු ගජමතු පෙන්වූ ග්‍රාමසේවක ඔක්කෝම ලක්ෂ විස්සකට ගනුදෙනුව කතා කරගෙන වෑන් රථ දෙකෙන් ශ්‍රී නාගල රජමහා විහාරය වෙත පිටත් වූහ.
පන්සල් භූමියේ වෑන් රථ දෙක නවත්වා ජයලාල් ඇතුළු තිදෙනකු වාහනයෙන් බැස ගනුදෙනුව කරන මුවාවෙන් ග්‍රාම සේවකගේ මෝටර් රථය වෙත ගොස් ඇත්දළ ජෝඩුව පරීක්ෂා කර එකවරම ඔහුව අත්අඩංගුවට ගත්තේය. ග්‍රාම සේවක සමග මෝටර් රථයේ සිටි අනෙක් පුද්ගලයා පොලිස් නායකයකු ලෙස සේවය කර දේශපාලකයකුගේ ළඟ සේවය කරපු අයකු විය. දෙදෙනාම තමන්ව කොටුවන්නට යන බව දැන අත්අඩංගුවෙන් මිදී පලා යන්නට උත්සාහ කළද තමන් පොලිස් කණ්ඩායමකට කොටුවන බව අවසන් මොහොතේ තේරුම් ගත්තේය.
තමන් හේනේගම හන්දියේ වෙළෙඳසලක සිටියදී පැමිණි නාඳුනන පුද්ගලයකු රුපියල් ලක්ෂ හතරකට ගනුදෙනුවක් කතා කර මෙම ගනුදෙනුව කළ බව ග්‍රාම නිලධාරියා ඇඟ බේරා ගන්නා ප්‍රකාශයක් කළ ද වලාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ නියෝග මත විමර්ශනයක් ඇරඹෙන්නේ මෙම ඇත්දළ දෙක හිමි ඇතාගේ තොරතුරු හා ඇතා ඝාතනය කළ ඝාතකයන් නිසාය.
අයියනායක දෙවියන්ට වැඳුම් පිදුම් කරන ඇතා යැයි ගම්වාසීන් විසින් විශ්වාසයෙන් සිටින දළ පූට්ටුවා මෙසේ මරා දමා ඇත්දළ විකුණන්නට ගිය බව අනාවරණය වන්නේ ඒ අනුව කෙරෙන විමර්ශනවලදීය.
සති තුනකට ඉහතදී මොරගොල්ලාගම සියඹලාව පදිංචි පුද්ගලයන් පස් දෙනකු එක්ව මෙම ඝාතනය සිදු කළ වන අනාවරණය කරගත් අඹන්පොළ පොලිසිය ඇත්දළකැපීමට යොදාගත් කියත් පටි ඇතුළු උපකරණ සමග සැකරකුවන් කොටු කරගත්තේය.
අහස පොළොව නුහුලන මෙකී අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් රජකාලේ දඬුවම් දී හෝ මට්ටු කළ යුතු වන්නේ මෙම වටිනා සම්පතක් විනාශ කළ නිසාවෙනි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
0 comments