ශ්‍රීදේවී අපෙන් සමු ගනී.




බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති.
වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ, තෙලිඟු, මලයාලම්, කන්නඩ සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය.
ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළට එසවූ රංගන ශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි. එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති.
බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර, ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.
වර්ෂ 1978 දී බොලිවුඩ් තිරයේ ප්‍රධාන චරිතයක් පණ පෙවීමේ වරම් ලද ඇය වැඩි කලයක් යන්නට පෙර ඉන්දියාවේ ප්‍රමුඛතම චිත්‍රපට නිළිය බවට පත්වූවාය

0 comments