අනුරාධපුරය මහ නගර සභාවට ගිය මෙරට ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණින් අනුරාධපුරය මහ නගර සභාවට තරග කළ සචිනි කාරියවසම් මෙරට ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙසින් වාර්තාවක්ද තබමින් ජයග්‍රහණය කර තිබෙනවා.
පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන් විශ්ව විද්‍යාලය ට තේරි පත්ව ඇති ඇය මෙවර මැතිවරණයට අනුරාධපුරය මහ නගර සභාවට අංක 14 සිරිමෙවන් කොට්ඨාසයෙන් තරග කලා.
ජයග්‍රහණයෙන් පසු ඇය මාධ්‍ය හමුවේ තමන්ගේ ජයග්‍රහණය පිළිබඳව මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
“මම මුලින්ම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා මම මේ තත්වයට පත්කරන්න ගත්ත මහන්සියට.
මගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. තාත්තගෙ රැකියාවෙ හැටියට පිට ප්‍රදේශ වල තමයි වැඩ කරන්න තියෙන්නෙ. අම්මා තමයි නංගියි මල්ලියි අපි තුන්දෙනා ඇස් දෙක වගේ බලාගන්නෙ.
මගේ අම්මා මුල් කාගෙ ඉඳලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ කෙනෙක්. අම්මාගේ දේශපාලන වටපිටාව අපිට තදින්ම බලපෑවා.
අම්මා අපේ ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වල නිරත වූ කෙනෙක්. ඒ නිසා මේ මැතිවරණයට මම ඉදිරිපත් වුනාම මුලින්ම මට විශාල චකිතයක් වගේ දැණුනා. ඒත් මගේ අම්මගෙයි තාත්තගෙයි අසල්වාසීන්ගෙයි අතර තිබුණු සුහදතාවය නිසා ඡන්දය ඉල්ලුවට පස්සෙ අපේ ගෙදර ආපු හිතවතුන්, අසල්වාසීන් දැක්කම ලොකු ධෛරයක් ඇති වුණා.
මට එකේ පන්තියෙ ඉඳන් උසස් පෙළ තෙක් උගන්නපු සියළුම ගුරුවරු මට මේ ගමන යන්නෙ කොහොමද කියලා පෙන්නලා දුන්නා. ඒ වගේම මගේ පාසලේ යාළු මිත්‍රයො හැම දෙනාම වගේ මට උදවු කලා.
මම ප්‍රාථමික අංශයේ ඉඳලා උසස් පෙළ තෙක් අද්‍යාපනය ලැබුවෙ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ. මම පාසල් යන කාලෙ ශිෂ්‍ය නායිකාවක් විදියට වැඩ කරපු නිසා නායකත්ව ගුණාංග පිළිබඳ හොද පෙරහුරුවක් ලැබුණා.
ප්‍රදේශයේ ජනතාව මම මේ ඡන්දෙන් තෝරගත්තෙ කිසිම වැඩක් කරලා නෙමෙයි. ඉදිර්යේදි ප්‍රදේශයේ අයට වැඩ කරලා ඔවුන් සතුටු වෙනවනම් ඉදිරියටත් දේශපාලන කටයුතු වල නිරත වෙනවා.
ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කීර්ති නාමය නිසයි අපට මේ ජයග්‍රහණය ලැබුණෙ. අපි එතුමට අපේ ගෞරවය පුදකරනවා.
ඒ වගේම ප්‍රදේශයේ ජනතාව මම ගැන විශ්වාස කරලා මාව මහ නගර සභාවට යවපු එකට මම හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

0 comments