සිරිලක සිරි බලන්න ඇවිත් අසරණ වූ ඩෙන්මාර්කයේ අංක එකේ කෝටිපතියා – Photos

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා මෙන්ම ලොව මුල් පෙළේ ධන කුවේරයෙකු වන Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනකු කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට එල්ලවූ ප‍්‍රහාරයෙන් මියගොස් තිබේ.
අන්තර්ජාල වෙළෙඳ ජාලයක් වන ASOS’COM හි විශාලතම කොටස් හිමියා මෙන්ම ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා වන වන Anders Holch Povlsen බිරිඳ හා දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටි අතර එදින උදෑසන ආහාර ගන්නා අතරතුර මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දී තිබේ.
සිද්ධියෙන් ඔහුද තුවාල ලබා ඇති අතර මෙම සිද්ධිය සැලවීමත් සමග මුළු ඩෙන්මාර්කයම ශෝකයෙන් අලලීගොස් තිබේ. සිද්ධියෙන් පසු වහාම රෝහල්ගත කෙරුණු ඔහුට මෙරටදී මූලික ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු වහාම ඩෙන්මාර්කයට ගෙන ගොස් තිබේ. ඔවුන් සතු ඔවුන්ගේම පුද්ගලික ජෙට්යානා ඇති බැවින් එසේ ගෙන ගිය ආකාරය ගැන වැඩි තොරතුරු වාර්තාවී නොමැත.
46 හැවිරිදි Anders Holch Povlsen සිය බිරිඳ ඈන් සහ දියණියන් වන අල්මා, ඇස්ටි‍්‍රඞ්, ඇග්නස් හා පුතු ඇල්ෆ‍්‍රඞ් සමග මෙසේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටියේය. මේ දරුවන් සිවුදෙනාම වයස අවුරුදු 5 ත් 15 ත් වූ අතර කුඩාම දරුවා ඇල්ෆ්‍රෙඞ්ය. අනතුර සිදුවන්නට දින කීපයකට පෙර වැඩිමහල් දියණිය වන අල්මා විසින් අනෙකුත් දරුවන් තිදෙනා ශ‍්‍රී ලංකාවේ පිහිනුම් තටාකයක් ඉදිරියේ සිටින ජායාරූපයක් ඇගේ සමාජ ජාල අඩවියකට මුදාහැර තිබිණි.
මේ අය අතරින් අනතුරින් දිවිගලවාගත් දරුවා කවුරුන්දැයි තවමත් හෙළිවී නොමැත. 1972 දී උපන් Anders Holch Povlsen හට තම දෙමාපියන්ගෙන් උරුමවූ ව්‍යාපාර හිමිවූයේ වයස අවුරුදු 28 දීය. එතැන් පටන් ඔහු තම ව්‍යාපාර අධිරාජ්‍ය පුළුල් කරමින් දියුණුවට පත්විය. Anders Holch Povlsen හට සිය බිරිඳ ඈන් හමුවූයේ ඇය ඔහුගේ වෙළෙඳ ජාලයේ සේවය කරමින් සිටින විටය.
Anders Holch Povlsen එක්සත් රාජධානියේ දෙවන විශාලතම ඉඩම් හිමියා වන අතර හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප‍්‍රමාණයකට හිමිකම් කියනු ලබන පුද්ගලික ඉඩම් හිමියාද වේ. ස්කොට්ලන්තයේ ඉඩම්වල මොවුන් වන වගා ව්‍යාපෘති ආරම්භ කර තිබුනේ පරිසරය රැකගන්නටය. එම ව්‍යපෘතිය නුදුරු දිනයකදී තම දරුවන්ට පවරන්නට ඔහු තීරණය කර තිබුනේ එය තම ජීවිත කාලය තුළ සම්පූර්ණ කළ නොහැකි බව පවසමිනි. එසේම රුමේනියාවේ කඳුකර ප‍්‍රදේශ රැසක් මිලට ගත් ඔහු එම ප‍්‍රදේශ වලද වනාන්තර වගා කිරීම ආරම්භ කර තිබේ.
ස්කොට්ලන්තයේ ඔහුට හිමි සමස්ත ඉඩම් ප‍්‍රමාණය අක්කර 220,000 කට අධික බව පැවසේ. එනම් ස්කොට්ලන්තයේ ඉඩම්වලින් සියයට එකක් ඔහුට හිමිව තිබේ.
මොහුගේ සමස්ත වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන අටක් බව සඳහන් වේ.
ඩෙන්මාර්ක් රජ පවුලේ සමීපතමයකු වන Anders Holch Povlsen හැම විටම පුද්ගලිකත්වය අගය කළ අතර ඔහුගේ මුළු පවුලම තම තොරතුරු පිටස්තර ලොවට විවෘත නොකළ තරම්ය. 2003 වසරේදී ඉන්දියාවේදී Anders Holch Povlsen යැයි වරදවා සිතා කප්පම්කරුවන් කණ්ඩායමක් විසින් ඩෙන්මාර්ක් ජාතිකයකු පැහැරගෙන තිබූ අතර දින පහකට පසුව එම පුද්ගලයා නිදහස් කර තිබිණි. ඉන්පසු හැමවිටම ඔවුන්ගේ ගමන් බිමන් ඉතාම රහසිගතව සිදු කෙරිණි. ඊට හේතුව ඔහුගේ ධනවත් බව නිසා කප්පම්කරුවන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටීම නිසාය. එනිසාම හැම විටම සමාජයට වැඩිපුර විවෘත නොවන ලෙස පවුලේ සාමාජිකයන්ටද ඔහු නිතරම උපදෙස් දුන්නේය.
මෙම අනතුර සැලවීමත් සමග ඩෙන්මාර්කයේ සෑම දෙසින්ම ඔවුන්ගේ නිවසට මල් සහ ශෝක ප‍්‍රකාශ ගලා එන්නට විය. මියගිය දරුවන්ගේ සිරුරු ඩෙන්මාර්කයට ගෙනගොස් අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය.
ජීවිතය කොතරම් අනිත්‍යද යන්නට මේ සිද්ධිය හොඳම උදාහරණයකි.
ජනිත සෙනෙවිරත්න
(දිවයින)









0 comments