ලංකාවේ ලොකුම සමාගම් පඩි කපයි – ජෝන් කීල්ස් 60%..බ්‍රැන්ඩික ්ස් 60%..ශ්‍රී ලන්කන් 25% .


ලංකාවේ ලොකුම සමාගම් පඩි කපයි – ජෝන් කීල්ස් 60%..බ්‍රැන්ඩික
්ස් 60%..ශ්‍රී ලන්කන් 25% ...

මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ වන විට එළඹෙන මාස කිහිපය තුල සේවක වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ ව්‍යාපාර කටයුතු අකර්මණ්‍ය වීම හේතුවෙන් තම සමාගම්වල පිරිවැය පාලනය කිරීමේ පියවරක් ලෙසින් මෙම තීරණය ගැනීමට අදාළ සමාගම්වලට සිදුව ඇති බව වාර්තා වනවා.

මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලට බලපැවැත්වෙන පරිදි පිරිවැය පාලන ක්‍රමවේද සඳහා යොමුවීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සිය කාර්ය මණ්ඩලය වෙත අභ්‍යන්තර මෙමෝ (Internal Memo) පණිවුඩයක් හරහා දැනුම් දී තිබුණා.

ඒ අනුව සමූහයේ විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ වැටුප් 60%කින්, සමූහ විධායක කමිටුවේ සාමාජිකයින්ගේ මූලික වැටුප 35%කින්, රු, 50,000ට වැඩි වැටුප් ලබන සියලු දෙනාගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 35% දක්වා ප්‍රමාණයකින් කප්පාදු කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

මීට අමතරව ඉදිරි මාස 03 ක කාලය සඳහා ගමන් වියදම් දීමනා, නව බඳවා ගැනීම්, පාරිතෝෂිත අරමුදල් ණය යනාදිය ද අත්හිටුවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟළුම් අපනයනකරුවා වන බ්‍රැන්ඩික්ස් ලිමිටඩ් ද සියලු විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ වැටුප්, වැටුප් මට්ටම් අනුව 5% සිට 60% දක්වා කප්පාදු කිරීමට පියවර ගත් අතර සියලු ප්‍රාග්ධන වියදම් අත්හිටුවීමටත්, නව බඳවාගැනීම් අත්හිටුවීම හා තාවකාලික කාර්ය මණ්ඩලය තවදුරටත් රඳවා නොගැනීමට ද තීරණය කළා.

ශ්‍රීලංකන් ගුවන්සේවයේ සේවකයින් සඳහා 2.5% සිට 25% දක්වා මාස 3 ක කාලයක් සඳහා අනිවාර්ය වැටුප් අඩු කිරීමක් පැනවීමට සහ 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නවතාලීමට කටයුතු යොදා තිබෙනවා.

මෙරට ප්‍රමුඛ පෙළේ දැවැන්ත සමාගම් කිහිපයකම තත්ත්වය මෙසේ වන කල, කොරෝනා වෛරසයේ ආර්ථික බලපෑම සෙසු කර්මාන්ත, ව්‍යාපාර හා සමාගම් වෙත එල්ල වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇති.

Truenews.lk

0 comments