තායිලන්තයේ සෞඛ්‍ය සම්බන්ධ හදිසි තත්ත්වය ජුනි අවසානය දක්වා දීර්ඝ කරයි



කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මස අවසානය දක්වා පවත්වාගෙන යෑමට තායිලන්ත බලධාරීහු තීරණය කර තිබේ.

දැනට පනවා ඇති සීමාවන් ලිහිල් කරන අතරතුර ආසාදන පාලනය කර තබා ගැනීම සඳහා මෙලෙස හදිසි නීතිය දීර්ඝ කරන බව තායිලන්ත කොවිඩ් - 19 කාර්ය සාධක බලකාය පවසයි.

මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ සාප්පු සංකීර්ණ, වෙළඳසැල් සහ දෙපාර්තමේන්තු නැවත විවෘත වී ඇත.

ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනම ද ජුනි අවසානය දක්වා දීර්ඝ කර තිබේ.

එසේ වුවද බාර්, රාත්‍රී සමාජ ශාලා, සිනමා ශාලා සහ ක්‍රීඩා පිටි තවදුරටත් වසා දමා තිබේ.

දැනට වසා දමා ඇති පාසැල් ජූලි මාසයේ විවෘත කිරීමට නියමිතය.

මාසයක් පමණ කාලයක් තිස්සේ තායිලන්නයේ දෛනික ආසාදිතයන් වාර්තා වීම අඩුවෙමින් පැවති අතර පසුගිය පැය 24 තුළ කිසිදු ආසාදිතයෙකු හෝ මරණයක් වාර්තා වී නොමැත.

තායිලන්තයේ මේ වනවිට තහවුරු වී ඇති කොරෝනා ආසාදිතයින් ගනන 3 037 ක් වන අතර මරණ 56ක් සිදුවී තිබේ.

රෝගීන් 2 910 දෙනකු සුවය ලබා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

0 comments