මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ශ්‍රී පාද අඩවියට ගිහින්

ශ්‍රී පාද රක්ෂිත ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත යැයි කියන සංචාරක හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජිතයින් පිරිසක් අද (31) එම ප්‍රදේශයට ගොස් තිබේ.

අද පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස එම ප්‍රදේශයට පිටත්ව ගිය බව එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ මහතා ප්‍රකාශ කළේය.

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාඋස්සාකැලේ ජලාශය ආසන්නයේ මරේවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක අදාළ සංචාරක හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජිත බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී පාද රක්ෂිතයට පාරිසරික හානි සිදු වන බවට මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිලි ලැබී තිබේ.

ඒ අනුව අදාළ ඉදිකිරීම් සඳහා යම් අවසරයක් ලබා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන්  සහ එහි පාරිසරික බලපෑම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් සොයා බැලීමට නියමිතය.

ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් ඉදිරි දින කිහිපය තුළ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙත බාරදීමට පියවර ගන්නා බව සුසන්ත වෙදගේ මහතා ප්‍රකාශ කළේය.

0 comments