හදවත් රෝගීන්ට මරු කැදවූ බවට සැක කෙරෙන ඩයි වර්ගය විදේශ පරීක්ෂාවකට

සැත්කම් අතරතුර කොළඹ ජාතික රෝහලේදී හෘද රෝගීන් හතරදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සිදුකළ මූලික විමර්ශන වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල වෙත ලබාදී තිබෙනවා.

පසුගිය 28 වනදා රෝගීන් හයදෙනෙකු හදවත් සැත්කම්වලට භාජනය කළ අතර ඉන් රෝගීන් හතරදෙනෙකු මියගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේ.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මී සී සෝමතුංග, රසායනාගාර සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කමල් ජයසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා එම කමිටුවට ඇතුළත් වුණා.

අදාළ වාර්තාව ඊයේ පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට භාරදී ඇති අතර  එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ හදවත් සැත්කම සඳහා භාවිතා කළ ඩයි වර්ගයේ ඇතිවූ ආසාත්මිකතාවක් මරණවලට හේතුවන්නට ඇති බවයි.

අයර්ලන්තයෙන් ආනයනය කර ඇති ඇති අදාල ඩයි වර්ගය අවශ්‍ය වුවහොත් විදෙස් පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට ද එමඟින් නිර්දේශ කර තිබෙනවා.

වාර්තාව සැකසීමේදී ශල්‍යාගාරයේ උපකරණ දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර, රෝගීන්ට ලබාදුන් ඖෂධ පිළිබඳව විමර්ශනය කර තිබෙනවා.

0 comments