අභිමානවත් 69වන නිදහස් උළෙල නිමාවට පත් වෙයි.

අදට යෙදෙන 69 වන නිදහස් සමරුව වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ යුක්තිය සාධාරණත්වය මත පදනම් වූ අභිනව දේශයක සාමයෙන් සපිරි ජන සමූහයක් ලෙස ජීවත් වීම තුළින් නිදහස අර්ථවත් වන බවයි

නිදහස අර්ථවත් කිරීමට නම්, දුගී බවින් මිදීම පමණක් නොව මානව හිමිකම් සහ යුක්ති ධර්මය අගයන සමාජයක ආධ්‍යාත්මික සහ සංස්කෘතික දරිද්‍රතාව ද නැති විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

නිදහස් සටන වෙනුවෙන් කැප වූ සියලු දෙනාට සදා ණයගැති වන බව ප්‍රකාශ කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස නමින් වර්ණ ගැන්වූ අඳුරු යුගයකින් අප නිදහස්ව සිටින බව ද සිහිපත් කළා.

දේශයක් ලෙස අප ලබා ඇති නිදහස වඩා අර්ථවත් කර ගැනීම සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කරනවා.

ගෙවුණු දෙවසර තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මිත්‍රශීලී ජාත්‍යන්තර සබඳතා වර්ධනය, මානව හිතවාදී සාමකාමී රටක් ගොඩ නැගීමට පදනම සැකසීම වැනි ජයග්‍රහණ රැසක් දිනාගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. අභිමානවත් දේශයක් ගොඩ නැගීමට ස්වාර්ථය පසෙකලා කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

තරුණ පරම්පරාවට වඩා පාලකයන්ට නිදහසේ සහ ස්වාධිපත්‍යයේ වැදගත්කම ඒත්තු ගැන්විය යුතු කාලයක් උදා වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිදහස් දින පණිවුඩයෙන් ප්‍රකාශ කරනවා.

යටත්විජිතවාදීන් ඉතුරු කළ රාජ්‍ය සම්පත් සුරක්ෂිත කර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ.

මේ අතර, අදට යෙදී ඇති ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිණ සුබපැතුම් පණිවුඩයක් එවා තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමතමින් එවා ඇති එම පණිවුඩයේ දැක්වෙන්නේ මෙරට නිදහස් දිනය වෙනුවෙන් තමා ඉතසිතින් සුබ පතන බවයි.

එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට ඉදිරි වර්ෂයේදී සතුට හා වාසනාව උදාවේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජිණ ප්‍රකාශ කළා.

නිදහසේ නිසි ඵල නෙලා ගැනීමට නම්, ජාතික ආගමික සංහිදියාව හා සහජීවනය පදනම් වූ ආධ්‍යාත්මික ගුණ පෝෂණය මුල් කොට ගත් ආර්ථික හා භෞතික සංවර්ධනයක් ඇති කර ගත යුතු බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියන් ප්‍රකාශ කරනවා.

නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මල්වතු මහනාහිමියන් කියා සිටින්නේ අධිරාජ්‍යවාදී යුගයේ අඳුරු අනිටු විපාක ජය ගැනීමේ කාලය දැන් උදා වී ඇති බවයි.

නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහානායක හිමියන් ප්‍රකාශ කළේ නිදහස ප්‍රායෝගික ක්‍රියාදාමයක් වන අතර, එය වඩාත් පූර්ණ හා අර්ථවත් කිරීම සඳහා ආර්ථික සහ සාමාජීය වශයෙන් නිදහසක් ලැබිය යුතු බවයි.

අද ඇතැම් රටවල් ඉහළ දියුණුවකට පත්වී ඇත්තේ ලැබූ නිදහස ප්‍රායෝගික ලෙස යොදා ගැනීමෙන් බවත්, අස්ගිරි මහනාහිමියන් පෙන්වා දෙනවා.

මේ අතර, ලබා ඇති නිදහස පරිපූර්ණ නිදහසක් බවට පත් කර ගැනීමට සියලූ දෙනා කැප වී කටයුතු කළ යුතුව ඇති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

0 comments