වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිය සමිති 130ක් රට පුරා වර්ජනයේ

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු කරුණු තුනක් මුල් කර ගනිමින් වෘත්තිය සමිති 130ක් පමණ  අද වර්ජනයක නිරතවනවා.
ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව එට්කා වැනි අන්තර්ජාතික ගිවිසුම් අත්සන් නොකිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකිරීම ඇතුළු කරුණු ද ඊට ඇතුළත්.
දීපව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඒ පිළිබඳ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ වෘත්තිය සමිති රැසක්  වර්ජනයට එක් වන බවයි.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙ වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කළ අතර පසුව ඊට වෙනත් වෘත්තිය සමිති ද සහය පළ කළා.
ඒ අනුව අද දිනයේ ආරම්භ වන වර්ජනයට සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, ඇතුළු ක්‍ෂේත්‍රවල වෘත්තිය සමිති එක් වනවා.
මේ හේතුවෙන් ක්‍ෂේත්‍ර රැසක කටයුතු අඩාල වනු ඇති.
ඛනිජතෙල් පොදු සේවක සංගමය ද අද දිනයේ ආරම්භ කරණ වෘත්තිය ක්‍රියාමාර්ගයට සහභාගී වනවා.
එම සංගමයේ සභාපති අශෝක රංවල මහතා පැවසුවේ මේ හේතුවෙන් ඛනිජතෙල් බෙදාහැරීම අද දිනයේ අඩාල විය හැකි බවයි.
මේ අතර, දුම්රිය එන්ජින් රියදුරු සංගමය ද අද වැඩවර්ජනයට එක් වන අතර මේ හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වනු ඇති.
මේ අතර, අද දිනයේ ක්‍රියාත්මක වන වර්ජනයට සහය නොදැක්වීමට තවත් වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.
එම වෘත්තිය සංගම් ඒකාබද්ධව ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් ද පැවැත් වුවා.
දේශපාලන වාසි වෙනුවෙන් වෛද්‍ය සංගමය විසින් වර්ජනය සිදු කරන බවයි  ලංකා ජාතික වතු කම්කරු සංගමය ප්‍රකාශ කළේ.
මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වන වැඩවර්ජනය සඳහා එක් නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් මෙන්ම ලංකා ගමනා ගමන මන්ඩලයට අයත් වෘත්තිය සමිති ද වර්ජනයට එක් නොවන බව  ප්‍රකාශ කළා.
ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සම සභාපති සමන් රත්නප්‍රිය මහතා ද පැවසුවේ තමන් වර්ජනයට එක් නොවන බවයි.
මේ අතර, අද දිනයේ ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය හේතුවෙන් පීඩාවට පත් වන රෝගීන් සඳහා බාහිර අංශය යටතේ නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කළා.


0 comments