වැඩ නොකළ ඇමැති සල්ලි, ආපදා වන්දිවලට : කිරිඇල්ල දෙන්න බෑ කියයි



වැඩ නොකළ ඇමැති සල්ලි, ආපදා වන්දිවලට : කිරිඇල්ල දෙන්න බෑ කියයි 
 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ජූලි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමටය. මෑත දී ඇති වූ ගංවතුර, නායයෑම්, අධික සුළං සහ නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක ජනතාව දැඩි සේ පීඩාවට පත්වූ බවත් දකුණු ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් තිබියදී උතුර සහ නැඟෙනහිර පළාත්වල දැඩි නියං තත්ත්වය හේතුවෙන් ජනතාව පීඩාවට පත්වූ බවත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ සඳහන්ය. ගංවතුර සහ නායයාම් හේතුවෙන් පුද්ලයන් 213 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පවුල් 144,188 ක පුද්ගලයන් 562,074 දෙනෙකු පීඩාවට පත්ව ඇත. නිවාස, ව්‍යාපාර, භෝග සහ යටිතල පහසුකම්වලට සිදු වූ හානිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කාලයක් තිස්සේ විවිධාකාර සමාජ සහ ආර්ථික ගැටලුරාශියකටද මුහුණ දීමට සිදුව ඇත. මෙම තත්ත්වය හමුවේ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත්තේ ආපදා තත්ත්වයට පත් ප්‍රදේශවල ආර්ථික සහ සමාජ ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා විනාශ වූ දේපළ සහ ජීවනෝපාය ක්‍රියාකාරකම් නැවත ස්ථාපනය කිරීම ප්‍රමුඛ කාර්යයක් වී ඇති බවය.
හානි වූ නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපන, මාර්ග, කෘෂිකර්මය, සත්ව පාලනය, වැවිලි සහ අනෙකුත් සමාජ ආර්ථික යටිතල පහසුකම්වල තත්ත්වය නැවත ස්ථාපනය කිරීම සඳහා රුපියල් බිලියන අසූවක මූලික වියදමක් ඇස්තමේන්තු කර ඇතැයිද එහි සඳහන්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති පරිදි නැවත ඉදිකිරීම් කටයුතු සඳහා අලුතින් මුදල් වැය කිරීම අභියෝගයක්ව පවතින බවත් 2017 වර්ෂයේ පවත්නා අයවැය ප්‍රතිපාදන තුළ සිදු විය හැකි ඉතුරුම් කළමනාකරණය කරමින් සමස්ත අයවැය හිඟයට වන බලපෑම අවම වන අයුරින් නැවත ඉදිකිරීම් කටයුතු කරගෙන යාමේ ඉඩකඩ පවතින බවත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම වසරේ මුල් කාර්තුව සඳහා අමාත්‍යාංශ 51 කට වෙන් කළ මුදලින් රුපියල් කෝටි හයදහස් අටසිය අනූතුනක් වියදම් කර නැති බව ජූලි මස 5 වන දින ඉදිරිපත් කරන ලද 2017 පළමු කාර්තුවේ මූල්‍ය කාර්යසාධන වාර්තාවේ දැක්වේ. අමාත්‍යාංශ 51 මෙම වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා ඉලක්කගත වියදම රුපියල් කෝටි එක්ලක්ෂ දෙදහස් හත්සිය විසිපහක්ව පැවතිනි. එහෙත් සත්‍ය වශයෙන්ම මෙම කාලය තුළ දී අමාත්‍යාංශ විසින් දරන ලද මූල්‍ය සහ පුනරාවර්තන වියදම වන්නේ රුපියල් කෝටි අනූපන්දහස් හත්සිය තිස්හයක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. ඒ අනුව වසරේ පළමු කාර්තුව සඳහා අමාත්‍යාංශ 51 ක සත්‍ය වියදම් ප්‍රතිශතය වන්නේ ඉලක්කගත වියදමෙන් 93.3% ක් බව පැහැදිලිය.
තතු මෙසේ තිබිය දී මංගල සමරවීර අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව යොමු කළ දිනට පසු දිනම උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුව ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට යෝජිත රුපියල් මිලියන 3250 ක මුදල වෙනසකින් තොරව තම අමාත්‍යාංශයටම ලබා දෙන ලෙසයි.
දයා නෙත්තසිංහ

0 comments