වසර අවසාන වන්නට පෙර ඇති වන මහා භූ කම්පනයක් හා සුනාමියක්
පසුගිය සැප්තැම්බරයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතාට ලැබුණා යැයි කියන ලිපියකින් කියවුණු ආරංචියක් ගැන සමාජ ජාල මාධ්‍යයන් තුළ ආන්දෝලනාත්මක කතා බහක් මතුවිය. ලිපියේ සදහන් වූයේ 2017 වසර අවසාන වන්නට පෙර ඇති වන මහා භූ කම්පනයක් හා සුනාමියක් පිළිබදවය. ඒ ලිපිය පහත පරිදිය.
ගරු අගමැතිතුමනි,
2017 දෙසැම්බර් මස 31 වන දිනට පෙර ඉන්දියානු සාගරයේ මහා භූ කම්පනයක් සිදු වන්නට නියමිතය. මෙම මහා භූ කම්පනයෙන් ආසියානු මහද්වීපයට අයත් සියළු වෙරළ තීරයන්ට මහත් බලපෑමක් එල්ල වනු ඇත තවද මෙම භූ කම්පනයේ බලපෑම ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් හැම එකකටම බලපානු ලබනු ඇති අතර, එයින් නොනැවතී ගල්ෆ් කලාපයේ රටවල් බලාද මෙහි බලපෑම විහිදී යනු ඇත.
පැයට කිලෝමීටර් 120ත් 180ත් අතර වේගයකින් හඹා යන ෂීශ්මා කුණාටුවද මෙකී කාලසීමාව තුළ බලාපොරොත්තු විය හැකි අතර අධික වර්ෂාවද සමග සුනාමි රළද මතුවිය හැකිය.
මෙකී නිරීක්ෂණයන් කරන ලද්දේ ප්‍රගුණ කළ ඓන්ද්‍රීය සංජානනය මගිනි.
ස්තුතියි,
මෙයට අවංක,
බාබු කාලයිල්.
බාබු කාලයිල් යනු ඉන්දියානු මහාචාර්ය වරයෙකි. ඓන්ද්‍රීය සංජානනය පිළිබද පර්යේෂණ කරන කේරලයේ B.K. Research Association for E.S.P හි පර්යේෂකයෙකි.
මේ ඉන්දියානු මහාචාර්යවරයා වරෙක තම ඓන්ද්‍රීය සංජානන බලය භාවිතයෙන් අනාවැකි කීමේ හැකියාව පිළිබදව ස්වදේශීය මාධ්‍ය නාලිකාවකට විස්තරයක්ද ඉදිරිපත් කර තිබිණ.
“මට එවැනි දර්ශනයක් පේන්න කලින් මගේ මොලයත් ශරීරයත් අධික ලෙස රත් වෙනවා. මට එක දිගට රූප රාමු වැලක් පේන්න පටන් ගන්නවා. හරියටම චිත්‍රපටියක දර්ශන වගේ ඒ දර්ශන පෙල පැහැදිලියි. ඒ ආකාරයෙන් තමයි මම සුනාමිය පිලිබද සිදුවීමත් දැක්කේ. මගේ මනස මෙහෙයවලා ඒ සුනාමියෙන් සිදුවන බලපෑම පිළිබදව මම වැඩිදුර විස්තර අනාවරණය කරගත්තා.” ඔහු එහිදී පැවසීය.
ඔහු විසින් ප්‍රබල භූ කම්පනයක් පිළිබද මේ ලිපිය ඉන්දිය අගමැති නරේන්ද්‍රසිංහ මෝඩි මහතාට එවා ඇත්තේ පසුගිය සැප්තැම්බරයේදීය
ක්ෂේත්රයට අදාල විවිධ විද්වතුන් හා ආයතන මේ පිළිබදව අදහස් දක්වන්නට පටන් ගත්තේ ඒ නොසන්සුන් භාවයත් සමගිනි.
ඉන්දියානු සාගරයේ හට ගන්නා මහත් වූ භූ කම්පනයකින් හා සුනාමියකින් ආසියාතික රටවල් එකොලහක් විනාශ වෙතැයි යන මේ මතය ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් දැඩිව ප්‍රතික්ෂේප කරයි. එරට ජාතික කාලගුණ මෙහෙයුම් සහ භූ භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය මොහොද් හිෂාම් මොහොමද් අනිප් පවසන්නේ එවන් ව්‍යසනයක් සිදුවන බව තහවුරු කෙරෙන කිසිම විද්‍යාත්මක සාධකයක් නැති බවයි. එසේම භූමි කම්පාවක ක්‍රියාකාරිත්වය
“දැනට තියෙන්නේ භූමි කම්පාවක් සිදුවෙන්නට ආසන්න කාලයකදී එය සිදුවෙන දිනය ප්‍රකාශ කිරීමේ තාක්ෂණයක් පමණයි. මාස ගණනකට කලින් භූමි කම්පාවක ස්වරූපය, එය බලපාන රටවල් ආදී හැම එකක්ම කියන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තාමත් ලෝකෙ කෙහෙවත් නෑ.” ඔහු පවසයි. “ඉන්දියානු සාගරයේ යම් තැනක අවුරුද්ද අවසානයේදී භූ කම්පනයක්, සුනාමියක් කුණාටුවක් ඇති වන බව අවුරුද්ද මැදදී කිව හැකි කිසිම විද්‍යානුකූල උපකරණයක් නෑ. බාබු කාලයිල් මේ අනාවැකි විදිහට ප්‍රකාශ කරන්නේ ඔහුගේම හිතලුවක්.”
මැලේසියාවේ සාබාන් විශ්ව විද්‍යාලයේ, ස්වභාවික ව්‍යසන පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය ෆෙලික්ස් ටොන්ග්කුල් පවසනුයේද මෙකී සුනාමිය හා භූ කම්පනය පිළිබදව ප්‍රකාශ කොට ඇත්තේ කිසිදු පිළිගත හැකි විද්‍යානුකූල තහවුරු කිරීමකින් තොරව වන බවයි. කිසිම ආකාරයකින් පර්යේෂණයක් නොකොට මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද යන්නත්, ඔහු ප්‍රශ්න කරයි. ඉන්දියානු විද්‍යාඥයාව ඔහු කිසිදු ආකාරයකින් විවේචනය නොකරන නමුත් නිසි තහවුරු කිරීමක් නොමැතිව සමාජ ජාල වල පතුරුවා හැරෙන මෙබදු පුවත් නිසා ජනතාව බියට පත් විය හැකි බව ඔහු පවසයි. මෙතෙක් එවැනි දෙයක් විද්‍යාත්මකව තහවුරු වී නැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වැලකෙන්නැයි ඔහු ජනතාවට කියා සිටියි.
එහෙත් මීට දින කිහිපයකට පෙර ඉන්දියානු ටිබෙට් දේශ සීමාවේ ඇතිවුණු රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් බාබු කාලයිල්ගේ අනාවැකිය සාර්ථක වේ දැයි මිනිසුන් අතර යලිත් බියක් පැතිර යමින් පවතියි.
~නිම්මි මුදිතා~
0 comments