“රාජා හෝ මා හෝ ගංගා හෝ “ වැනසෙන තුරු තැනූ “බැරැණ්ඩි කෝවිල”



භික්ෂූන් එකසිය විසි නමක් ගං දියෙහි ගිල්ලවා මරා ඒ ගං දියට මූණ ලා බ්‍රාණ්ඩි යක්ෂයාට පුද පූජා පවත්වන්නට කෝවිලක් තනවනු පිණිස සීතාවක රාජසිංහ රජුට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් නම් වූ හින්දු පූජකයා විසින් උපදෙස් දුන් කතාව මින් පෙර ලිපියෙහි විස්තර කළෙමි. භික්ෂූන් බිලි දුන් “කණාමැදිරියන් වල” පෙනෙන මානයේ තැනූ ඒ කෝවිල “බැරැණ්ඩි කෝවිල”යි.
බැරැණ්ඩි කෝවිල තනවන්නට මුල් වූයේ සීතාවක රාජසිංහ රජු හෙවත් ටිකිරි කුමරුන් අතින් පියරජු මායාදුන්නේ ඝාතනය වීම නිසා ඔහු තුළ ඇතිවූ කම්පාවය. තමා අතින් නොදැනුවත්වම සිදු වුණු පාපයෙන් ගැලවෙන්නට සීතාවක රාජසිංහ රජු පිළියම් සෙව්වේය. එයට විසදුම් සොයා භික්ෂුන් හමුවට ගිය විට භික්ෂූන් රජුට පැවසුවේ “පීතෘ ඝාතනය” ආනන්තරීය පාපකර්මයක් වූ බැවින් එයින් ගැලවෙන්නට ක්‍රමයක් නැති බවය. වඩාත් දොම්නසට පත් සීතාවක රාජසිංහ රජු “අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්” නම් හින්දු පූජකයෙකුගෙන් මෙයට පිළියමක් විමසීය. මේ හින්දු පූජකයා රජුට උපදෙස් දුන්නේ බෞද්ධ භික්ෂුන් එකසිය විස්සක් මරා බිලි දී ඒ ගං දියට මුහුණ ලා භෛරණ්ඩි හෙවත් භ්‍රාණ්ඩි යක්ෂයාට පුද පූජා පිණිස දෙවොලක් තැනවුවහොත් පීතෘ ඝාතක පාපය ගෙවී යන බවයි.
එය බිහිසුණු උපදෙසක් වුවත් සීතාවක රාජසිංහ රජු ඒ උපදෙස පිළිගෙන ඇත්තේ “අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල්” වරින් වර රජුට සාර්ථක ජ්‍යොතිෂ්‍ය උපදෙස් දී තිබුණු නිසා විය හැකිය. පෘතුගීසීන් සමග නිරන්තරව ඇතිවුණු යුද ගැටුම් වලදී යුද්ධයට යෑමට පෙර විවිධ ජ්‍යොතිෂ්‍ය වතාවත් කොට බාර හාර වීම සීතාවක රාජසිංහ රජුගේ හෙවත් ටිකිරි කුමරුගේ පුරුද්දක් විය. එකල ඉන්දියාවෙන් ලංකාවට පැමිණ ජ්‍යෝතිෂ්‍ය කටයුතු කළ අයට තම ව්‍යාපාරයට හොද පරිසරයක් ඇතිව තිබුණු කාලයක් යැයි කියවෙයි. අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල්ද එලෙසින් ඉන්දියාවේ සිට පැමිණි, ජ්‍යෝතිෂ්‍ය වැඩ දත් හින්දු පූජකයෙකි. යුද්ධයට යාමට පෙර ඔහු වෙතින් ලබා ගත් උපදෙස් පිළිපැදීමෙන් පසු යුද්ධයේදී ජයග්‍රහණ ලබා ගත් නිසාත්, වරින් වර ඔහු කී අනාවැකි සාර්ථක වූ නිසාත් සීතාවක රාජසිංහ රජුගේ සිතෙහි මෙම පූජකයා පිළිබදව විශ්වාසයක් ගොඩ නැගී තිබිණ. බැරැණ්ඩි කෝවිල හදවන්නට අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් කළ දරුණු යෝජනාව සීතාවක රාජසිංහ රජු පිළිගන්නට ඇත්තේ ඒ විශ්වාසය මත විය යුතුය.
ඒ විශ්වාසය මතම පදනම්ව රාජසිංහ රජු අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල්ව තමාගේ රාජකීය උපදේශකවරයෙකු ලෙසද පත් කරගත්තේය. රාජ උපදේශක පදවි ලත් පසුව අරිට්ඨ කී වෙණ්ඩු රාජසභාවට එන්නේ “මනම්පේරි මොහොට්ටි” නමින් සිංහල වංශවත් නමකට තම නමද වෙනස් කරගනිමිනි. නම වෙනස් කරගෙන සිංහල කුල කාන්තාවක් සරණපාවා ගත්තද, “මනම්පේරි මොහොට්ටි” රජුගේ ඇමති මණ්ඩලයේවත්, සිංහල ප්‍රභූන්ගේවත් ප්‍රසාදයට ලක් වූයේ නම් නැත.
සිංහල කුලවතුන්ට අනුව ඉන්දියාවෙන් පැමිණි “හෙට්ටියෙකු” වූ මනම්පේරි මොහොට්ටිට ප්‍රභූ ජනතාවගේ පමණක් නොව එකල උන් සාමාන්‍ය වැසියන්ගේ පවා පිළිකුලට ලක් වෙන්නට සිදු විය. ඒ රජු රවටා හින්දු ආගම කෙරේ කපටි කමින් යොමු කරගත් නිසාත්, ඒ හේතුවෙන් බෞද්ධයින්ට විවිධ ගැහැට විදින්නට සිදුවූ නිසාත්ය.
රාජ උදහසට ලක් වීමට ඇති බිය නිසාම “මනම්පේරි මොහොට්ටි”ට තිබුණු අප්‍රසාදය වචනයෙන් මූණට කියන්නට නොහැකි වූ ඇතැම් ප්‍රභූවරුන් උපහාස කවි තනා ඒවා කුඩා ළමයින් ලවා සෙල්ලමට මෙන් ගායනා කරවන්නට සැලැස්වූහ.
අතුරු මිතුරු දඹදිවතුරු
රාජ කපුරු සෙට්ටියා
වරා ගහක් දුටිං බොලං
වරා ගහට ගිහිං බොලං
පුහු කරටිය නෙලිං බොලං
ගාතාවක් හිගේ
ගරුත මුහේ
මුක බානා
හ්ම් හ්ම්..
වැනි කවි එසේ “මනම්පේරි මොහොට්ටි” ලෙසින් වෙස් මාරු කරගෙන ප්‍රභූවරයෙකු වෙන්නට තැනූ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ට එරෙහිව ලියවුණු උපහාස කවි වෙයි. සිංහල ජනතාවගේත්, ප්‍රභූන්ගේත් සිත්වල තමන් කෙරේ ඇති අප්‍රසාදයද, තැන තැන තමාට මේ අයුරින් කෙරෙන අපහාසද ගැන දැනගත් මනම්පේරි මොහොට්ටි සිංහලයන් කෙරේ වෛර බැදගත්තේය. පසු කලෙක ඔහු පෘතුගීසීන්ට එක්ව සිංහලයින්ට එරෙහිව සටන් කරන්නේත්, රජකම පැහැරගන්නට කුමන්ත්‍රණ කරන්නේත් මේ වෛරය මතිනි.
අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ට එරෙහිව එදා තැනූ උපහාස කවි අද දක්වාම ජන වහරේ ඉතිරිව ඇති සේම ඔහුගේ උපදෙස් පරිදි තැනූ බැරැණ්ඩි කෝවිලද අදත් සීතාවක ගං ඉවුරේ ශේෂව පවතී.
“‍භෛරණ්ඩි” හෙවත් “භ්‍රාණ්ඩි” යනු ශිව දෙවියන්ට කියන තවත් නමකි. ශිව දෙවියන්ට පූජා පවත්වනු පිණිස සීතාවක ගං ඉවුරේ ඉදි කරන්නට ගත් බැරැණ්ඩි කෝවිල කිසිදා තනා නිම කිරීමේ අරමුණක් ඇතිව ඇරඹුණක් නම් නොවේ.
අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් පූජකයාට මේ කෝවිල තනා නිම කරන්නට කිසිදු උවමනාවක් තිබුණේ නැත. ඇතැම් විට කෝවිල තනා නිම කිරීමෙන් පසුව රජුට තමාගේ වැදගත්කමක් නැති විය හැකි යැයි ඔහුට සිතෙන්නට ඇත. එසේත් නැතිනම් සීතාවක රාජසිංහ රජු මේ සුවිසල් කෝවිල තැනීම වෙනුවෙන් අත දිග හැර ධන සම්පත් වැය කරන්නට ඇත. කෝවිල තනා නිම වූ පසුව තමාට ලැබෙන ඒ ධන උල්පත සිදී යා හැකි යැයි අරිට්ඨ කීවෙන්ඩුට සිතෙන්නට ඇත. ඒ කෙසේ වුවත් මියෙන තුරු මේ කෝවිල හදා නිම කරන්නට ඔහුගේ සිතේ අදහසක් නොතිබුණු බව ඔහු නිතර කී කතාවකම සැගවී තිබිණ.
කෝවිල ගැන යම් කිසිවෙකු විමසූ විට අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් දෙන්නේ එකම පිළිතුරකි. ඒ “රාජා හෝ මා හෝ ගංගා හෝ” යන්නය.
ඔහු මැතිරූ මේ අමුතු මන්ත්‍රයේ අරුත වනුයේ “යම් දිනක රජු මිය ගියහොත්, නැති නම් මා මියගිය හොත්, එසේත් නැතිනම් සීතාවක ගග පිටාර ගලා කෝවිල් බිම විනාශ වුවහොත්” මිසක කිසිදා මේ කෝවිලේ වැඩ නිම නොවනු ඇති බවය.
ඔහුගේ ඒ කතාව සැබෑ කරමින් පෙතන්ගොඩ උයනේදී විෂ කටුවක් ඇනී රාජසිංහ රජු මිය යන තුරුම, මිනිසුන් දෙදහසක් යොදවා වසර විස්සක් තිස්සේ එක දිගට වැඩ කළත් වැඩ නිමකරන්නට නොහැකි වූ අසම්පූර්ණ කෝවිලක් බව ඉතිහාස ලිපි ලේඛණ වල සදහන් වෙයි. ජනප්‍රවාද වල කියවෙන අන්දමට නම් මේ කෝවිල හදන්නට යෙදවූ මිනිසුන් සංඛ්‍යාව විසි දහසකි. කෙසේ වුවද මෙය අති විශාල ඉදිකිරීම් ව්‍යාපෘතියකි. කෝවිල හදන්නට සැලසුම් කොට ඇත්තේ සත් මහල් ගොඩනැගිල්ලක් ලෙසිනි. ඒ මහල් හතම කලු ගලින් නිමවිය යුතු අතර මේ සදහා ගන්නා හැම කලු ගලක්ම කැටයම් කරන ලද ඒවා විය යුතු බවට තීරණය කොට තිබිණ. අදටත් මේ කෝවිලේ ඉතිරිව ඇති සෑම ගලක්ම අලංකාරව කැටයම් කළ ඒවා වීම විශේෂයකි. ප්‍රදේශයේ පැරැන්නන් පවසනුයේ කෝවිල තනන්නට මේ කැටයම් කළ ගල් ගෙන ආවේ සීතාවක ගග දිගේ මහා පාරු වලින් බවය.
කැටයමින් අලංකාර කල කලුගල් පමණක්ම යොදා ගනිමින් ඉදි කළ බැරැන්ඩි කෝවිල තැනවුණේ දකුණු ඉන්දියානු වාස්තු විද්‍යාවට අනුවය. ද්‍රවිඩ වාස්තු විද්‍යාවට අනුව ගොඩ නැංවුණු නමුත් මෙය ඉදි කරන්නට ශිල්පීන් නම් දකුණු ඉන්දියාවෙන් ගෙන ආ බව කොතැනකවත් නොකියැවෙයි. එසේ නම් රාජ අණට අකීකරු වෙන්නට නොහැකි නිසා හෝ මෙය ඉදි කරන ලද්දේත් ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය දත්, වෙහෙර විහාර තැනවූ අපේ රටේ ශිල්පීන් හා ගල් වඩුවන් විය යුතුය.
අදද ඉතිරිව ඇති මේ බැරැණ්ඩි කෝවිලේ නටඹුන් වල ඇති ගල් කුළුණු ගල් පඩි අලංකාර කැටයම් වලින් යුක්ත වෙයි. මේ කෝවිලේ ඇති ගල් කැටයම් අතර ඇති අපූර්වතම ගල් කැටයම් නිර්මාණයක් ලෙස නෙලුම් පොහොට්ටුවක හැඩය ගත් පිහිල්ල වැදගත් වෙයි. මෙය කෝවිලේ පූජා කටයුතු වලදී ශිව ලිංගය නෑවූ කිරි දියර ගලා පිටවීමට තැනූ කාණුවකැයි සිතිය හැකිය. එහෙත් ප්‍රදේශවාසී පැරැන්නෝ පවසනුයේ භ්‍රාණ්ඩි නම් යක්ෂයා වෙනුවෙන් කළ බිලි පූජා වල ලේ ගලා යෑම සදහා මේ අලංකාර ගල් කැටයම් කාණු භාවිතා කළ බවයි.
ගල් කැටයම් පමණක් නොව කෝට්ටේ යුගයේදී මේ කෝවිල තුළ අලංකාර බිතු සිතුවම්ද තිබුණු බව කියැවෙයි. ඒ බිතු සිතුවම් වල රාම රාවණ යුද්ධය, ස්කන්ධ කුමාර කතා ප්‍රවෘත්තිය, මහා භාරත යුද්ධය වැනි ඉන්දීය සාහිත්‍යයේ කතා පුවත් නිරූපණය වුණු බව සැවුල් සන්දේශයේ සදහන් වෙයි.
බැරැණ්ඩි කෝවිලත් සීතාවක රාජ මාලිගයත් යා කෙරෙන ගල් පාලමක්ද සීතාවක ගග හරහා තිබුණු බවට අදටද සාධක ඇත. කෝවිල් පරිශ්‍රයේ අංග සම්පූර්ණ නගරයක සැලැස්මක නටඹුන්ද දකින්නට ඇත.
පසුකලෙක පරංගි ආක්‍රමණ වලදී පෘතුගීසීන් නිධන් වස්තු කොල්ල කන්නට මෙම අලංකාර කෝවිල විනාශ කොට දමා ඇත. පෘතුගීසීන් විසින් වරින් වර විනාශ කොට දමන ලද මේ කෝවිල නැවතත් පිලිසකර කොට සංරක්ෂණය කරන්නට ක්‍රියා කරන ලදුයේ ක්‍රි.ව. 1890ත් 1912 ත් අතර කාලය තුළ මෙරට පුරාවිද්‍යාඥයෙකු වශයෙන් සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික එච්.සී.පී බෙල් මහතා විසිනි.
බැරැන්ඩි කෝවිලේ උත්පත්ති කතාව පිළිබද ජනප්‍රවාද හා ඇතැම් වංශ කතා වල කියැවෙන දේ කවරාකාර වුවද සීතාවක රාජසිංහ රජු යනු ලක් ඉතිහාසයේ වූ විශිෂ්ඨතම රණ ශූරයා වෙයි. එමෙන්ම සිය අවසන් මොහොත දක්වාම මව්බිම ආක්‍රමණිකයින්ගෙන් බේරාගන්නට සටන් කළ නිර්භීත දේශ ප්‍රේමියෙකුද වෙයි. බැරැණ්ඩි කෝවිලේ උත්පත්ති කතාව පමණක් කියා ඒ අභීත රණශූරයාට කැලලක් ඉතිරිකොට යාම යුතු නොවන බැවින් ඔහු පිලිබද අභිමානවත් තොරතුරු ඉදිරි කොටස් වලින් ඉදිරිපත් කරමි.
නිම්මි මුදිතා හේරත්
ඉරිදා රිවිර
10.12.2017

0 comments