මොරගහකන්දේ විදුලිය නිපදවීම ඇරඹෙයි - දිනක ආදායම රුපියල් ලක්ෂ 40ක්

මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතියේ විදුලි බලාගාර තුළිත් ජාතික විදුලි පද්ධතියට දිනපතා විදුලිය මෙගාවොට් 25ක් මුදා හැරීම ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය පවසනවා. 
ඉහළ ජලාධාර ප්‍රදේශ වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයට ඊයේ දිනය (06) වන විට අක්කර අඩි දෙලක්ෂ අනූ හත්දහසක පමණ ජල ප්‍රමාණයක් ලැබී ඇති බවයි අප කළ විමසීමක දී මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී.දයානන්ද මහතා කියාසිටියේ. 
එය සමස්ථ ජලාශයේ 66%ක මට්ටමක් බව ද හෙතෙම කියා සිටියා. 
දැනට පවතින වාර්තාවන්ට අනුව වසර 50කට පසු ලැබුනු වැඩිම වර්ෂාපතනය පසුගිය සමයේ මොරගහකන්ද ප්‍රදේශයට පතිත වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.  
ඒ අනුව පොලොන්නරුව හා කළුගඟ පහළ නිම්නයට ජල හිගයක් ඇතිවීමේ අවදානම පහවගොස් ඇති බවත් සඳහන්. 
මීට අමතරව ජාතික විදුලි පද්ධතියට එක්වන විදුලි ප්‍රමාණයෙන් දිනකට ලක්ෂ 40ක පමණ ආදායමක් මොරගහකන්ද විදුලි බලාගාරය තුළින් ලැබෙන අතර විදුල බලාගාරයෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 1545ක් බව ද ඔහු සඳහන් කර සිටියා.
ජලාශයේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර ඊට අවශ්‍ය ධීවරයින් පුහුණු කිරීම් ද සිදුකරමින් පවතින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් පී. ජී. දයානන්ද මහතා කියා සිටියේ.

0 comments